Saturday, January 11, 2025

General line - 0115112241

සම්බන්දන්ට විපක්ෂනායක ධුරය අහිමි වීමට දින ළඟයි.. හේතුව TNA පහදයි  

වසන්ත පිවිතුරු




දෙමළ ජාතික  සන්ධානය සතු විපක්ෂ නායක තනතුර එම පක්ෂයට  ඉදිරියේ දී අහිමි වනු ඇති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩයිකලනාදන් පවසනවා. විපක්ෂ නායක ආර්.සම්බන්දන්ට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙන ඒමට නියමිත විශ්වාසභංගය හේතුවෙන් මෙම අහිමිවීම සිදුවනු ඇති බවයි ඔහු  කියා සිටියේ.

දෙමළ  ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු  කණ්ඩායම් නායක ලෙස කටයුතු කරනු ලබන්නේ සෙල්වම් අඩයිකලනාදන් මන්ත්‍රීවරයයි.

ඔහුගෙන් nethnews.lk කළ විමසීමකදී කියා සිටියේ ඉදිරි පාර්ලිමේන්තු සභාවරයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ඇතැම් මන්ත්‍රීවරුන් විපක්ෂයේ අසුන් ගැනීමට නියමිත බවට තමන් වෙත කරුණු ලැබී ඇති බවයි.

එවැනි තත්ත්වයක් හමුවේ අදාළ තනතුරේ දෙමළ ජාතික සන්ධානය තවදුරටත් රැඳී සිටීමේ අවස්ථාව හිමි නොවන බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

විපක්ෂ නායක ආර්. සම්බන්දන්ට එරෙහිව විශ්වාසභංගයක් ගෙනවිත් ඔහුව එම තනතුරින් නෙරපා දමා අදාළ තනතුර සඳහා  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පත්කර ගැනීමට ඒකාබද්ධ විපක්ෂය පිඹුරුපත් සකසමින් ඇති බවත් සෙල්වම් අඩයිකාලනාදන් මන්ත්‍රීවරයා කියා සිටියා.

කෙසේ වෙතත්  විපක්ෂ නායකවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට කටයුතු නොකනරන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඒකාබද්ධ විපක්ෂයට දන්වා ඇති බවටද තොරතුරු වාර්තා වූ බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.