බ්‍රිතාන්‍ය ජාතික වෛද්‍යවරයෙකු වන රිචර්ඩ් ෆර්මන්ට කරාපිටිය ශික්ෂණ රෝහලේ සැත්කම් සිදු කිරීමට අවසර ලබාදීමට විරෝධය පළ කරමින් සේවාවලින් ඉවත් වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කරාපිටිය ශාඛාව තීරණය කර තිබෙනවා.
ප්‍රශ්නගත රිචර්ඩ් ෆර්මන් වෛද්‍යවරයා කරාපිටිය ශික්ෂණ රෝහලේ සේවයට පැමිණියහොත් එතැන් සිට මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කරන බවයි ඔවුන් පැවසුවේ.
ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කරාපිටිය ශාඛාවේ සම ලේකම් වෛද්‍ය කේ ටී සමරරත්න කියා සිටියේ ප්‍රශ්න ගත වෛද්‍යවරයාට බ්‍රිතාන්‍ය වෛද්‍ය සභාව මගින් නිකුත් කළ බලපත්‍රයක් ද නොමැති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.
විදේශීය විශේෂඥ වෛද්‍යවරයෙකු ශ්‍රී ලංකාවේ සේවය කරන්නේ නම් ඒ සඳහා එම වෛද්‍යවරයා තම මව් රටේ වෛද්‍ය සභාවෙන් ලබාගත් බලපත්‍රය ඉදිරිපත් කළ යුතු බවත් එය ශ්‍රී ලංකාවේ පිළිගත් ප්‍රතිපත්තියක් බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මීට පෙර කියා සිටියා.
කෙසේ වෙතත් බී බී සී ලෝක සේවය කළ විමසීමක දී බ්‍රිතාන්‍ය වෛද්‍ය සභාව ප්‍රකාශ කර ඇත්තේ බ්‍රිතාන්‍ය තුළ බලපත්‍රයක් හිමි නොවීම යනු බ්‍රිතාන්‍ය ජාතික වෛද්‍යවරයෙකුට වෙනත් රටක සේවය කිරීමට ඇති තහනමක් නොවන බවයි.
තමන් යටතේ ලියාපදිංචි වෛද්‍යවරයෙකුට වුවද කරුණු කිහිපයක් මත බලපත්‍රයක් නොතිබිය හැකි බව බ්‍රිතාන්‍ය වෛද්‍ය සභාව වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා. අදාළ හේතූන් ලෙස දක්වා ඇත්තේ වෛද්‍යවරයා සේවයෙන් විශ්‍රාම ගෙන තිබීම, බ්‍රිතාන්‍ය තුළ වෛද්‍ය වෘත්තියේ නිරත නොවීම හෝ වෛද්‍ය වෘත්තියේ නිරත නොවී පර්යේෂණවල යෙදී සිටීම යන ඒවා බව සඳහන්.