Friday, September 20, 2024

General line - 0115112241

ජනපතිගේ රාජාසන කතාවෙන් පසු සිදුවෙන බව කියන සිද්ධිය ගැන පැහැදිළි කිරීමක්




ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පාර්ලිමේන්තු සැසි වාරය ආරම්භ වන මැයි 8 වැනිදා රාජාසන කතාව අවසානයේ පැවැත්වෙන ඡන්ද විමසීමක දී එය පරාජය වීමෙන් ආණ්ඩුව, කැබිනට් මණ්ඩලය හෝ පාර්ලිමේන්තුව විසුරුවා හැරෙන බවට පළ වූ ප්‍රකාශ සම්පූර්ණයෙන්ම සාවද්‍ය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් පාර්ලිමේන්තු වාර අවසාන කිරීමෙන් පසු නව සැසි වාරය ලබන මස අට වැනිදා කැඳවීමට නියමිතයි. 

එහිදී ජනාධිපතිතුමා විසින් රජයේ ප්‍රතිපත්ති ඇතුළත් රාජාසන කතාව ඉදිරිපත් කිරීමට නියමිත බවත් එය අවසානයේ  අවශ්‍ය නම් ඡන්දයක්‌ ඉල්ලා සිටිය හැකි අතර ඒ අනුව විපක්‍ෂය විසින් ඒ සඳහා ඡන්ද විමසීමක්‌ ඉල්ලා සිටීමට නියමිත බවත් එහිදී එම රාජාසන කතාව පිළිබඳව පැවැත්වෙන ඡන්ද විමසීමේදී රජය පරාජය වුවහොත් අගමැතිවරයා ඉල්ලා අස්‌විය යුතු අතර නව අගමැතිවරයකු හා නව කැබිනට්‌ මණ්‌ඩලයක්‌ පත්කර ගැනීමට සිදුවන බවත් රාජාසන කතාව පරාජය වුවහොත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඇති අවුරුදු හතරහමාරේ සීමාව අහෝසි වන බවත් සඳහන් වර්තා ඇතැම් ජනමාධ්‍ය විසින් පළ කර තිබුණා.

එම වාර්තා සාවද්‍ය සහ පදනම් විරහිත මෙන්ම මහජනයා නොමග යවන සුළු ඒවා බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ. 

පාර්ලිමේන්තු සැසිවාරයක් ආරම්භ කරන අවස්ථාවේදී රාජ්‍ය නායකයා රජයේ ප්‍රතිපත්ති පිළිබඳව රාජාසන කතාවක් පැවැත්වීම බ්‍රිතාන්‍ය වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු සම්ප්‍රදාය තුළ පවතින්නක්. වර්තමානයෙහි ක්‍රියාත්මක වන දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ රාජාසන කථාවක් පිළිබඳ ප්‍රතිපාදන අඩංගුව නොමැත. පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භයේදී රාජ්‍ය නායකයා විසින් රාජාසන කථාවක් පැවැත්වීම වර්තමානයෙහි සම්ප්‍රදායයක් පමනකි. එම රාජසන කථාව පිළිබඳ විවාදය ආණ්ඩුවේ හෝ කැබිනට් මණ්ඩලයේ පැවැත්ම කෙරෙහි කිසිසේත් බලපාන්නේ නැති  බවයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් නීතීඥ සුදර්ශන ගුණවර්ධන එවන ලද ප්‍රකාශයේ සඳහන් වී ඇත්තේ.