Friday, September 20, 2024

General line - 0115112241

ඝාතකයාගේ කෘර වද හිංසා ගැන මවගේ සහ දියණියගේ මරණ පරීක්ෂණයේදී හෙළි වෙයි

පාලිත ආරියවංශ - බදුල්ල




මහියංගනය කෙසෙල්පොත උතුර වරාපිටිය ගම්මානයේ  නිවසක් තුළදී ඉකුත් 19 වැනිදා රාත්‍රියේ අභිරහස් ලෙස ඝාතනයට ලක්වු මවගේ සහ දියණියගේ මෘත දේහයන්හි කොටස් වැඩිදුර පරීක්ෂණය සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවීමට පියවර ගත් බව පශ්චාත් මරණ පරික්ෂණ පැවැත්වු  බදුල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි අකිල රත්නායක පවසනවා.

මෙසේ ඝාතනයට ලක්වුයේ දිසානායක මුදියන්සේලාගේ හීන්මැණිකා (58) සහ ඇගේ දියණියවූ ඩබ්ලිව්.එම්.රේණුකා (40) නැමති දෙදෙනායි.

මවගේ මරණය වස ශරීරගත වීමක් හා අත්වල හා පපුවේ ඇට කැඩීමට ලක්වීමකින් සිදුව ඇති බවත් මවගේ පපුව මතට කිසිවෙකු නැග පෑගිමක් වැනි දෙයක් සිදුකර ඇති බවත්,  දියණියගේ හිසට මොට ආයුධයකින් පහරදීම නිසා හිස්කබලට බරපතල තුවාල සිදුව ඇති බවත් අධිකරණ වෛද්‍ය නිලධාරි රත්නායක සිය වාර්තාවේ සඳහන් කර තිබෙනවා.

මවට වස පෙවුවේද? නැතිනම් ඇය වස බිව්වේද? යන කරුණු ද රජයේ රස පරික්ෂක වාර්තාවෙන් තහවුරු කරගත හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මෙම ද්විත්ව ඝාතන සම්බන්ධයෙන් සැකකරන පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක් දියත් කර ඇති බවත් ඔහු මරණයට පත් මවගේ අනියම් පුරුෂයා බවට තොරතුරු  ලැබී ඇති බවත් මහියංගණය පොලිසිය පවසනවා.

බදුල්ල පොලිස් අධිකාරි ධම්මික වීරසේකර, සහකාර පොලිස් අධිකාරි උදිත් ලියනගේ, මහියංගනය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සී.ජේ.කේ . විජේසේකර යන නිලධාරීන්ගේ උපදෙස් මත මහියංගනය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක  ඒ.එම්.සේනාරත්න බණ්ඩා, පො.සැ.28534 දිසානායක ,කොස්තාවල්වරුන් වන 37419 අත්තනායක, 10931 තිලක් සහ 4203 රත්නායක යන නිලධාරින් වැඩිදුර විමර්ශන සිදුකරනවා.