Monday, May 6, 2024

General line - 0115112241

පෙනීමත් දුර්වල සුනඛයා කැළයේ අතරමං වූ කුඩා දැරියක් රැකගත් හැටි (PHOTOS)

දිනුක් හේවාවිතාරණ




කැලයක අතරමංව සිටි අවුරුදු 03 ක් වයසැති දැරියක්  සොයා ගැනීම සඳහා අවුරුදු 17 ක සුනඛයෙක් උපකාර කල පුවතක් ඕස්ට්‍රේලියාවේ කුවීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් වාර්තා වනවා.

සිද්ධිය වාර්තා වන අන්දමට මෙම දැරිය සිය නිවසේ ඇති කරන ගවයින් බලා ගැනීමට සිටින මෙම සුනඛයා සමග නිවසින් පිටව ගොස් ඇති අතර පසුව නිවස අසල පිහිටි කැලයක් තුලට ඇය සහ සුනඛයා පිවිස තිබෙනවා. 

මේ බව නොදත් දැරියගේ නිවැසියන්, පොලිස් නිලධාරින් සහ ස්වේච්ජා සේවකයින් 200 ක් පමණ දැරියගේ අතුරුදහන්වීම වාර්තා වීමත් සමග ඇය සොයා මෙහෙයුම් දියත් කර තිබෙනවා.

පුර පැය 16 කට අධික කාලයකට පසුව මෙම දැරියගේ නිවැසියන්ට කැලැබඳ කදු ප්‍රදේශයක සිටියදී දැරිය සොයා ගැනීමට හැකිවී තිබෙන අතර එම අවස්ථාව වන විටත් සුනඛයා ඇයව ආරක්ෂා කරමින් සිට තිබෙනවා.

වනයේ අතරමන් වූ මෙම දැරියගේ ආරක්ෂාවට රාත්‍රිය පුරාවට ඇයත් සමග මෙම සුනඛයා සිට ඇති බව නිවැසියන් සඳහන් කරනවා.

අතුරුදහන් දැරිය සොයා සිය නිවසේ සිට කිලෝමීටර් 2ක් අතින් ඇති කන්දක් මුදුනට ගොස් දැරියගේ නම කියා හඩ ගැසූ අවස්ථාවේදී ඇය අසලට දිව ආ මැක්ස් නැමති මෙම සුනඛයා ඇයව දැරිය සිටි ගල්පර්වතය අසලට රැගෙන් ගිය බව එම දැරියගේ මිත්තනිය ඕස්ට්‍රේලියානු ගුවන් විදුලි සේවයට ප්‍රකාශ කර සිටිනවා.

මෙම සුනඛයා අර්ධ අන්ධබාවයකින් පෙලෙන මහළු වියේ පසුවන සතෙක් වුවත් පොලිසිය පවසන්නේ මැක්ස් නැමති මෙම සුනඛයා රාත්‍රිය පුරාවට දැරිය ආරක්ෂා කිරීම පැසසුම් ලැබිය යුතු කරුණක් බවයි. 

අතුරුදහන්ව සිට සොයා ගත් දැරිය මේවන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි එරටින් ලැබෙන මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.