Monday, May 6, 2024

General line - 0115112241

කැනඩාව භීතියට පත්කරමින් වෑන්රථයක් පදිකයින් 09 කට මරු කැඳවයි (PHOTOS/VIDEO)

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




කැනඩාවේ, ටොරොන්ටෝ අගනුවර දී  පදික වේදිකාවේ ගමන් කල පුද්ගලයින් පිරිසක් වෑන් රථයකින් යට කර පලා ගොස් ඇති අතර එම සිද්ධියෙන් පුද්ගලයින් 09 දෙනෙක් මිය ගොස් තවත් 16 දෙනෙක් තුවාල ලබා ඇතැයි එරට පොලිසිය සඳහන් කරනවා.

මෙම සිද්ධියට සම්බන්ධ වෑන් රථ රියදුරු සිදුවීම වූ ස්ථානයේ සිට සැතපුමක් පමණ දුරින් පිහිටි ස්ථානයක සිටියදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා. එහිදී එම වෑන් රථය පැදවූ බව කියන රියදුරා විසින් ගිනි අවියක් වැනි දෙයක් පොලිස් නිලධාරීන්ට එල්ල කරමින් කලහකාරී ලෙස හැසිරී ඇති අතර පසුව ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිව තිබෙනවා.

අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් එරට පොලිසිය විසින් හෙළිකර නැති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

එම සිද්ධිය ඇසින් දුටුවන් බලධාරීන්ට පවසා ඇත්තේ වෑන් රථයේ රියදුරු මාර්ගයේ පදික මංතීරුවේ ගමන් කරමින් සිටි පිරිස් ඉලක්ක කර ගනිමින් එම හිංසාකාරී ක්‍රියාව සිදුකල බවයි.

මෙම සිදුවීම් සිදුවන අවස්ථාවේ එම ස්ථානයේ සිට කිලෝමීටර් 30 ක් දුරින්  G7 රාජ්‍යයන්ගේ විදේශ ඇමතිවරුන්ගේ සමුළුවක්ද පැවත්වෙමින් තිබී ඇතී බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.   

පසුගිය වසර කිහිපය තුල අමෙරිකාව ඇතුළු යුරෝපිය රටවල මෙවැනි රිය අනතුරු ගණනාවක් වාර්තා වූ අතර මෙම ක්‍රියාවන් සැබැ ලෙස රිය අනතුරුද නැත්නම් ත්‍රස්තවාදී සංවිධානයක ක්‍රියාවක්ද යන්න ගැන බුද්ධි අංශ විසින් විශේෂ විමර්ශනයන් ද ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.