Friday, September 20, 2024

General line - 0115112241

 "චෝදනා ඔප්පු කරන්නේ නම් පුටුවෙන් ඉවත් වනවා" තී‍්‍ර රෝද රථ ගැටලුව උග්‍ර වෙයි

තරංග රුක්ෂාන් ජයසේකර




තී‍්‍ර රෝද රථ සඳහා අනිවාර්යය කළ බිල්පතක් නිකුත් කළ හැකි මීටරය හේතුවෙන් මේවනවිට දැඩි කතාබහක් මතුව තිබෙනවා. නෙත් නිවුස් කළ ක්ෂේත‍්‍ර චාරිකාවකදී අනාවරණ වුණේ තවමත් මෙම නීතිය කි‍්‍රයාත්මක නොකරන තී‍්‍රරෝද රථ ධාවනය වන බවයි. මෙම නව මීටරයේ මිල ඉහළ අගයක පැවතීම, එහි නඩත්තුවේ අපහසුතා සහ කඩිනමින් මෙවැනි මීටරයක් සවි කර ගැනීමට ඇති අපහසුතා ඊට හේතුව බවයි තී‍්‍ර රෝද රථ රියදුරන් නෙත් නිවුස් වෙත කියා සිටියේ. ඒ සම්බන්ධයෙන් දැඩි ලෙස චෝදනා එල්ල වන්නේ මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවටයි. ඒ සියලූ චෝදනා නෙත්  නිවුස් එහි සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩට යොමු කළා. එහිදී ඔහු කියා සිටියේ අදාළ කටයුතු සිදුකිරිම සඳහා ත්‍රීරෝද රථ රියදුරන්ට අවස්ථා දෙකකදී කාලය ලබාදී ඇති බවයි. නමුත් එම කාලයේ දී ඔවුන් අවශ්‍ය කටයුතු සිදුකර නොමැති බවද ඔහු පෙන්වා දුන්නා. බිල්පතක් නිකුත් කිරිමේ දී ත්‍රීරෝද රථයේ අංකය, දුරකථන අංකය හා ධාවන වූ දුර ප්‍රමාණයට අදාළ ගාස්තුව පමණක් අතින් හෝ ලියා දීම වලංගු වන බවද වෛද්‍ය සිසිර කෝදාගොඩ කියා සිටියා.

කෙසේවෙතත්, තී‍්‍ර රෝද රථ සංගම් පවසන්නේ මෙම ති‍්‍ර රෝද රථ මීටරය අධික මිලකින් යුක්ත බවයි. එවැනි මීටර් ශී‍්‍ර ලංකාව තුළ නිෂ්පාදන නොකරන බවද ඔවුන් පැවසුවා.  ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික තී‍්‍ර රෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන සඳහන් කළේ මිල නියමයක් කිරිම හෝ ත්‍රී රෝද රථ සඳහා මීටරක් සවි කිරිම සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් තමන්ට නොමැති බවයි.

නමුත් බිල්පත් නිකුත් කිරිමේ කාර්යය නිසි ලෙස සිදු කිරිමට අවශ්‍ය පහසුකම් රට තුල නොමැති බැවින් විදේශ රටකින් ආනයනය කරන ලද එවැනි යන්ත්‍රයක මෙරට වෙළඳපොළ වටිනාකම අධික බැවින් එය දරා ගැනීමේ ශක්තිය ත්‍රීරෝද වෘත්තීකයා සතුව නොමැති බවද ඔහු පෙන්වා දුන්නා.

මෙවැනි මීටර් හරහා වංචාවක් සිදු වන බවත්, මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභපතිවරයා ඇතුලූ බලධාරීන්ට කොමිස් මුදල් ලැබෙන බවටත්  ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික තී‍්‍ර රෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන චෝදනා කළා.

එම චෝදනා ප‍්‍රතික්ෂේප කරන මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ නෙත් නිවුස් වෙත කියා සිටියේ චෝදනා ඔප්පු කරන්නේ නම් ධූරය හැර යන බවයි.

මගියාට බිල් පතක් නිකුත් කළ හැකි වන පරිදි මීටරයක් සවි කිරීම අනිවාර්යය කරමින් මෙම නව නීතිය කි‍්‍රයාත්මක කිරීම ආරම්භ කළේ ඉකුත් සිකුරාදා සිටයි. එවැනි බිල්පතක් නිකුත් නොකරන තී‍්‍ර රෝද රථ සම්බන්ධයෙන් 011 2 69 68 90 යන අංකයෙන් ජනතාවට පැමිණිලි කිරීමේ අවස්ථාවද පවතිනවා.