Friday, September 20, 2024

General line - 0115112241

ලසන්ත ඝාතනය ගැන CIDයට ඇති වූ අලුත් සැකය

වසන්ත පිවිතුරු




මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානයක්කාර, හිටපු පොලිස්පති ජයන්ත වික්‍රමරත්න සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන අය සම්බන්ධ බවට, තමන් සැක කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (23) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඉදිරියේ දී පරික්ෂණයක් ආරම්භ කරන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය වෙත දැනුම් දී තිබෙනවා.

අදාළ ඝාතනය සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානයක්කාර දැනට සැකපිට රක්ෂිත බන්ධනාගාරකර ඇති අතර තමන්ට ඇප ලබාදෙන ලෙස ඉල්ලා නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානයක්කාර සිය නීතිඥවරයා මාර්ගයෙන් ඉල්ලීමක් කර තිබුණා.

එම ඉල්ලීමට අදාළ පෙත්සම ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිලාල් හමුවේ කැඳවු අවස්ථාවේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මෙම කරුණු ඉදිරිපත් කර තිබෙනවා.

මෙහිදී පැය එකාහමාරකට අධික කාලයක් අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් වූ පෙත්සම විභාග කෙරුණු අතර එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊට විරෝධතා ගොණු කළා. අනතුරුව නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානයක්කාරට ඇප ලබාදීම සම්බන්ධයෙන් මැයි මස 01 වැනිදා දැනුම් දෙන බවයි ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිලාල් මෙහිදී සඳහන් කර ඇත්තේ. එතෙක් නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානයක්කාර මෙන්ම අදාළ නඩුවේ 2වන සැකකරු වන පොලීස් පරීක්ෂක තිස්ස සුගන්ධපාල ද තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.