Saturday, January 11, 2025

General line - 0115112241

පොලීසිය කළ රඟපෑම නිසා අතටම මාට්ටූ වූ ගජමුතු සොරුන් අත්අඩංගුවට (PHOTOS)

කාංචන කුමාර ආරියදාස - දඹුල්ල




යාල ජාතික වන උද්‍යානයේ සිටි දැවැන්ත ඇතෙකු ඝාතනය කොට ඇතාගේ ගජමුතු දෙකක් රුපියල් ලක්ෂ 70 කට අලෙවි කිරීම සඳහා දඹුල්ලට පැමිණි බුත්තල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් තිදෙනෙකු දඹුල්ල පොලීසිය විසින් ඊයේ (23) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බුත්තල ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් දෙදෙනෙකු  සහ ඔවුන්ගේ ඥාතියෙක් මෙලෙස සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

පොලිස් විශේෂ කාර්යාංශය දඹුල්ල ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඇති අතර දින ගණනාවක් තිස්සේ ගජමුතු 2 මිලදී ගැනීමේ ගැනුම් කරුවන්  ලෙස දුරකථනයෙන් සාකච්ඡා කර ගනුදෙනුව සිදුකිරීම සඳහා දඹුල්ලට ගෙන්වාගෙන මෙසේ ඔවුන් තිදෙනා  සහ ගජමුතු 2 අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේ.

ඓතිහාසික රංගිරි දඹුල්ල රජමහා විහාරය ආසන්නයේ මෙම ගනුදෙනුව සිදු කිරීමට වෙස්වලාගත් පොලිස් කණ්ඩායමක් ගැනුම්කරුවන් ලෙස කටයුතු කර තිබෙනවා.

ඒ අනුව ව්‍යාපාරිකයෙකු යොදවා ගෙන ගජමුතු දෙක පරීක්ෂා කරන අවස්ථාවේදී එහි සැඟව සිටි පොලිස් නිලධාරින් එකවරම පැමිණ මෙම පුද්ගලයන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යාල ජාතික වන උද්‍යානයේ සිටි දැවැන්ත ඇතෙකු මරා මෙම ඇත් දල යුගල තුළ තිබූ ගජමුතු ලබාගත් බව ගනුදෙනුවට පෙර පොලිස් නිලධාරීන්ට මෙම සැකකරුවන් ප්‍රකාශ කර තිබුණු බවත් ඒ අනුව ඇත් දළ යුගලය ද අලෙවි කිරීමට ඇති බව ඔවුන් ප්‍රකාශ කළ බවයි පොලීසිය සඳහන් කළේ.