Friday, September 20, 2024

General line - 0115112241

කවුරු කොහොම කිව්වත් අලුත් කැබිනට් මණ්ඩලය ගැන ජනපතිගේ මතය මෙන්න




ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ අමාත්‍යවරුන් පහළොස්දෙනෙකු සහ නියෝජ්‍ය කතානායකවරයා සිය තනතුරුවලින් ඉල්ලා අස්වීමෙන් අනතුරුව නව කැබිනට් සංශෝධනයක් සිදුකරන බව ආණ්ඩුව නිවේදනය කර තිබුණා.

එය "කැබිනට් සංශෝධනයකට" වඩා සම්පූර්ණයෙන්ම "අලුත් කැබිනට් මණ්ඩලයක් පත්කිරීමක්" ලෙස සලකන බවයි මේ සම්බන්ධයෙන් බී.බී.සී. සිංහල සංදේශය යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසා ඇත්තේ.

නව කැබිනට් මණ්ඩලය පත් කිරීමේදී විවිධ චෝදනාවලට ලක් වූ පුද්ගලයන් යළිත් ඇතුළත්වේදැයි යන්න පිළිබඳවද මෙහිදී ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කෙරුණා.

ඊට පිළිතුරු දෙමින් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසා ඇත්තේ එය ඒ ඒ දේශපාලන පක්ෂවල මූලික වගකීමක් වන බවයි.

එසේම තමාට එන යෝජනා පිළිබඳව අවධානය යොමුකරමින් සුදුසු හා නුසුදුසු පුද්ගලයන් පිළිබඳව අවධානය යොමු කරන බවද ජනපතිවරයා එහිදී සඳහන් කර තිබෙනවා.

එහිදී "මම ගාවට එන යෝජනාවලදී මම සොයා බලනවා ඕනෑම කෙනෙක් කැබිනට් මණ්ඩලයට පත්කිරීම සුදුසුද නුසුදුසුද කියන එක පිළිබඳව. ඒක මගේ වගකීමක්. ඒ අනුව මම තීන්දු තීරණ ගන්නවා. මෙය පැහැදිලිව රටට ජනතාවට විශ්වාස කළ හැකි ඇමති මණ්ඩලයක් වෙන්න ඕන. ඔය චෝදනාවලට ලක්වෙච්ච කිවුවට අපට එකපාරටම කියන්න බෑ ඔය කවුරු ගැනද කියන්නේ කියලා. ඒ එන යෝජනා අනුව තමා අපිට තීන්දු තීරණ ගන්න වෙන්නේ." යනුවෙන්ද සඳහන් කෙරුණා.