Saturday, September 21, 2024

General line - 0115112241

රජය ගෙන ඇති අඥාන තීරණයක් ගැන මහාචාර්යවරයෙකු පැහැදිළි කරයි

සමන්ත කුමාර




තේ සහ රබර් සඳහා ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරිම අනාගත අනතුරු රැසකට අතවැනීමක් බව රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය චන්න ජයසුමන පවසනවා. ඔහු ග්ලයිෆොසෙට් සඳහා එරෙහිව ඉකුත් සමයේ දැඩි ලෙස හඬ නැගූ චරිතයක්. ආණ්ඩුව ඊයේ (02) ප‍්‍රකාශ කළේ තේ සහ රබර් සඳහා පමණක් ග්ලයිෆොසෙට් තහනම ඉවත් කරන බවයි. 

ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් මහාචාර්ය චන්න ජයසුමනගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ වසර 3කට පසු නැවත ග්ලයිෆොසෙට් භාවිතය සඳහා අවස්ථාව ලබාදීම අඥාන තීරණයක් බවයි. එමෙන්ම අදාළ රසායනික ද්‍රව්‍යය මගින් පිළිකා, දියවැඩියාව වැනි රෝග ඇති වීමේ අවදානමක් පවතින බවත් මෙරට තේ නිෂ්පාදන සඳහා ග්ලයිෆොසෙට් භාවිත කිරිමෙන් තේවල ගුණාත්මක භාවය අවම විය හැකි බවත් ඔහු පෙන්වා දෙනවා.

තේ වලට පමණක් යැයි පවසමින් හෝ යළි ග්ලයිෆොසෙට් භාවිත කිරීම තේ කර්මාන්තයත්, රටත් අනතුරේ හෙලීමක් බවද ඔහු කියා සිටියා. මධයම කඳුකරයේ තේ වගාවට ග්ලයිෆොසෙට් යෙදුවද එහි බලපෑම කොළඹ දක්වා විහිදෙන බවද මහාචාර්ය චන්න ජයසුමන පෙන්වා දුන්නා.

ග්ලයිෆොසෙට් භාවිතයට එරෙහිව ඉකුත් සමයේ දැඩිලෙස හඬ නැගූ තවත් චරිතයක් වන්නේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර පුජ්‍ය අතුරලියේ රතන හිමියන්. උන්වහන්සේ නෙත් නිවුස් වෙත කියා සිටියේ මෙම තීරණයට කණගාටු වන බවයි. එමෙන්ම ඒ සම්බන්ධයෙන් අද (03) දිනයේ විශේෂ ප‍්‍රකාශයක් සිදුකරන බවයි උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ.