Sunday, December 29, 2024

General line - 0115112241

මිරිස්ස වෙරළේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරිමට ජනපතිගෙන් නියෝග

හේමන්ත කහවලගේ




වැලිගම මිරිස්ස වෙරළ තීරයේ ඉදිකර ඇති අනවසර හෝටල් 18ක් කඩා ඉවත් කරන ලෙස ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා නියෝග කර තිබෙනවා. ජනාධිපතිවරයා මෙම නියෝගය නිකුත් කර ඇත්තේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා වෙතයි. වෙරළ සීමාවේ මුහුදේ සිට ගොඩබිමට ඇති මීටර් 300ක භූමි ප‍්‍රදේශය තුළ ගොඩනැගිලි ඉදිකිරීම තහනම් වනවා. ජනාධිපතිවරයා විසින් ඉවත් කරන ලෙස නියෝග කර ඇත්තේ එම නීති උල්ලංඝණය කරමින් ඉදිකර ඇතිි හෝටල් 18ක්. ඒ අනුව තවත් දින සතියක් පමණ ඇතුළත මෙම අනවසර ඉදිකිරිම් ඉවත් කරනු ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කළා.

ඉකුත් දා මිරිස්ස වෙරළ තීරයේදී විදේශීය සංචාරකයින් පිරිසක් පහර කෑමකට ලක්වුණා. එම වෙරළ ආශී‍්‍රතව ගැවසෙන පිරිසකගෙන් නිරන්තරයෙන් සංචාරකයන්ට විවිධ පීඩා එල්ල වන බවයි වැඩිදුරටත් වාර්තාවුණේ. 

මේ හේතුවෙන් අදාළ අනවසර ඉදිකිරීම් ඉවත් කරන බව අමාත්‍ය සාගල රත්නායක මීට පෙර ප‍්‍රකාශ කළද එය කි‍්‍රයාත්මක වුණේ නැහැ. ජනාධිපතිවරයා මෙම නියෝගය නිකුත් කර ඇත්තේ අදාළ තත්ත්වයන් සැලකිල්ලට ගෙනයි. සංචාරකයන්ගේ ආකර්ශනයට ලක්ව ඇති මිරිස්ස වෙරළ තීරයේ පැවැත්වෙන සාදවලට මෙරට ඉහළ පෙළේ ප‍්‍රභූන් මෙන්ම ඔවුන්ගේ පුතුන්ද සහභාගී වන බවට තොරතුරු වාර්තා වනවා.