Saturday, September 21, 2024

General line - 0115112241

එජාප මැයි දින සැමරුම අද - වැඩේට සහභාගී නොවන අයට රතු එළි

කසුන් කැලුම්/මේනකා රත්නායක




එක්සත් ජාතික පක්ෂය සංවිධාන කරන මැයි දින සැමරුම් උත්සවය කොළඹ සුගතදාස ගෘහස්ත කී‍්‍රඩාංගණයේදී අද (06) පැවැත්වෙනවා.

එ්, පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

මෙම මැයි දින සැමරුම් උත්සවයට එක්වන ලෙස සෙසු පක්ෂවල නායකයන්ටද ආරාධනා කළ බවයි එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් නෙත් නිවුස් වෙත කියා සිටියේ. 

මෙවර මැයි දින රැලියක් සංවිධාන නොකොට සැමරුම් උත්සවයක් පැවැත්වීමට ගත් තීරණය පිළිබදව ද මෙහිදි අදහස් පළ කෙරුණා. එහිදී සඳහන් කෙරුණේ වෙසක් සැමරුම වෙනුවෙන් වැඩි අවධානයක් යොමු විය යුතු නිසා මෙවර මැයි රැලියක් වෙනුවට මැයි දින සැමරුමක් පමණක් සූදානම් කළ බවයි.

මේ අතර සිය දිස්ති‍්‍රක්කයේ ජනතාවට පක්ෂයෙන් සිදු වන අසාධාරණකම්වලට විරෝධය පාමින් අද පැවැත්වෙන මැයි දින සැමරුම් උත්සවයට තමන් සහභාගි නොවන බවයි මාතලේ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් අලූවිහාරේ කියා සිටියේ. මාතලේ දිස්ති‍්‍රක්කයේ එක්සත් ජාතික පක්ෂයේ තවත් මන්තී‍්‍රවරු පිරිසක් මැයි දින සැමරුම් උළෙල වර්ජනය කිරීමට සූදානමින් සිටින බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

රංජිත් අලූවිහාරේ මන්තී‍්‍රවරයා සිදු කළ එම ප‍්‍රකාශයට පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම්  ප‍්‍රතිචාර දැක්වූවා.

එහිදී ඔහු සඳහන් කළේ, යම් යම් අයගේ පෞද්ගලික කරුණු මත මීට සහභාගී වීමට නොහැකි වන්නේ නම් ඒ ගැන එතරම් සැළකීමක් නොදක්වන බවත් නමුත් වෙනත් ආකාරයේ මැයි දින සැමරුමක් වෙනුවෙන් වර්ජනයක් සිදු කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී කෘත්‍යාධිකාරී මණ්ඩලය හරහා තීන්දු තීරණ ගන්නා බවත් සඳහන් කළා.