Saturday, May 4, 2024

General line - 0115112241

ඉතාලියෙන් අනවසර වැසියන් කඩිනමින් ඉවත් කෙරෙයි  




ඉතාලියේ අනවසරයෙන් රැඳී සිටින 50,000 ක පිරිසක් ආපසු ඔවුන්ගේ රටවලට පිටුවහල් කිරීමට කඩිනමින් පියවර ගන්නා බව ඉතාලි නව රජය පෙන්වා දෙනවා.

‘බඩු මුට්ටු සූදානම් කරගෙන යන්න ලෑස්ති වෙන්න’ යැයි ඉතාලි නව අභ්‍යන්තර කටයුතු පිළිබඳ ඇමැති මැටියෝ සල්විනී අනවසර සංක්‍රමණිකයන්ට රතු එළියක් ද නිකුත් කර තිබෙනවා.

ඉතාලි අගමැති ප්‍රමුඛ රජය ගත් මෙම තීරණය සම්බන්ධයෙන් යුරෝපා සංගමය සිය අප්‍රසාදය පළ කර ඇති බව ද වාර්තා වෙනවා.

ඉතාලියේ නව අගමැති ලෙස 53 හැවිරිදි ගුසෙප් කොන්තේ පසුගියදා දිවුරුම් දුන්නා. කොන්තේ නීති මහාචාර්යවරයෙක් ලෙසයි සැළකෙන්නේ. බදු අඩු කිරීමටත්, සුබසාධන කප්පාදු නතර කිරීමටත් කොන්තේ ප්‍රතිඥා දී තිබෙනවා. සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් දැඩි නීති අනුගමනය කරන බවට අගමැතිවරයා ප්‍රතිඥා දී ඇති බවද විදෙස් වාර්තා පෙන්වා දෙනවා.

අනවසර සංක්‍රමණිකයන් ලෙස මෙසේ ඉතාලියේ රැඳී සිටින පිරිස අතර දිවි පරදුවට තබා බෝට්ටු මාර්ග ඔස්සේ ඉතාලියට පැමිණි ලිබියානු, සිරියානු සහ අප්‍රිකා සහ තවත් රටවල වැසියන් සිටිනවා.