Wednesday, January 8, 2025

General line - 0115112241

මහින්දානන්දගේ නඩුව වෙනත් අධිකරණයකට මාරු කරන්න නියෝග

අධිකරණ වාර්තාකරු




නීති විරෝධී ලෙස, අයථා ලෙස උපයාගත් මුදල් වලින් කොළඹ 07, කිංසි පාරේ පිහිටි නිවසක් රුපියල් මිලියන 27 ට මිලදී ගෙන ඇති බවට වන  සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව ගොනු කර ඇති නඩුවක් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග ඉදිරියේ විභාගයට නොගෙන කොළඹ මහාධිකරණයේ වෙනත් උසාවියකට මාරු කිරීමට අභියාචනාධිකරණය අද (20) නියෝග කළා.

ඒ අනුව කොළඹ මහාධිකරණයේ වෙනත් උසාවියක මෙම නඩුව කඩිනමින් විභාග කිරීමට අභියාචනාධිකරණය අද නියෝග කළා.

මෙම පෙත්සම සම්බන්ධයෙන් තීන්දුව අභියාචනාධිකරණ විනිසුරු කුමුදිනී වික්‍රමසිංහ සහ විනිසුරු එස්.තුරෙයිරාජා විසින් ප්‍රකාශයට පත් කළා. 

තමාට එරෙහි නඩුව දැනට විභාගයට ගැනීමට ගිහාන් කුලතුංග විනිසුරුවරයා නියෝග කර ඇති බවත් එම නඩුව සම්බන්ධයෙන් ඉදිරි නඩු කටයුතු එම විනිසුරුවරයා විසින් සිදු නොකිරීමට නියෝගයක් නිකුත් කරන ලෙසට ද හිටපු අමාත්‍යවරයා සිය පෙත්සමෙන් ඉල්ලා සිටියි.

විනිසුරු ගිහාන් කුලතුංග පසුගිය රජය සමයේ සිදු වූවා යැයි කියන වංචා හා දූෂණ සම්බන්ධයෙන් ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ විනිසුරුවරයකු ලෙසට කටයුතු කර ඇති බැවින් ඔහු ඉදිරියේ පවතින නඩුවකින් සාධාරණයක් ඉෂ්ට වේයැයි අපේක්ෂා කළ නොහැකි බව හිටපු ඇමතිවරයා සඳහන් කරනවා.

පසුගිය ජනාධිපතිවරනය සමයේදී සිල් රෙදි බෙදා දීමේ  වැඩසටහනක් සදහා ශ්‍රි ලංකා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවට අයත් රුපියල් මිලියන 600 ක මුදලක් ලබා ගෙන එම මුදල්  වංක ලෙස සාවදය පරිහරනය කිරීමේ චෝදනා වලට වැරැදිකරුවන් වූ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගට එරෙහි නඩුව විභාගයට ගෙන තීන්දුව ලබා දුන්නේද විනිසුරු ගිහාන් කුලතුංගයි.