Friday, December 27, 2024

General line - 0115112241

තැපැල් වර්ජනය අවසන් - ගැටළු විසඳන්න බලධාරීන්ට කල් දෙයි (UPDATE)

පසන් වික්‍රමතිලක/ හර්ෂිකා සංජීවනී




දින 16ක් පුරා අඛණ්ඩව ක‍්‍රියාත්මක කළ තැපැල් සේවක වැඩ වර්ජනය තාවකාලිකව අවසන් කර තිබෙනවා. ඒ, බලධාරීන් හා තැපැල් වෘත්තීය සමිති අතර අද (26) පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

ඒ අනුව සිය ගැටළුවලට විසඳුමක් ලබාදීමට බලධාරීන්ට ජූලි 07 වනදා දක්වා කල් ලබාදෙන බවයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර පැවසුවේ. ඒ වනතෙක් සාමාන්‍ය පරිදි සිය රාජකාරී සිදු කරන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ. 

------------------------------------

තැපැල් අවුල විසඳන්න තවමත් සාකච්ඡා

26-06-2018 12:26

වර්ජනයේ නිරත තැපැල් වෘත්තීය සමිති සහ වැටුප් හා සේවක සංඛ්‍යාන කොමිෂන් සභාවේ නිලධාරීන් අතර මේවනවිට සාකච්ඡාවක් පැවැත්වෙනවා.

සිය ඉල්ලීම්වලට විසඳුම් ලැබෙන තෙක් මෙම වර්ජනය අත් නොහරින බවයි තැපැල් වෘත්තීය සමිති පවසන්නේ.  ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මේ බව සඳහන් කරනවා. 

මේ අතර තමන් සේවය කරන කාර්යාලයට රාජකාරී සඳහා වාර්තා කිරිමට අපහසු සේවකයින් ළගම පිහිටි තැපැල් අධිකාරී කාර්යාලයට වාර්තා කරන ලෙස තැපැල්පති, තැපැල් සේවකයින්ගෙන් ඉල්ලීමක් කළා.

මහජන සේවය අඛණ්ඩව පවත්වා ගෙන යාම සඳහා තැපැල් සේවක නිවාඩු අවලංගු කර ඇති බවයි ඔහු එහිදී කියා සිටියේ. රාජකාරියට වාර්තා කරන තැපැල් සේවකයින්ට බාධා කිරිමේ සිදුවීම් ද වාර්තා වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.