Saturday, January 11, 2025

General line - 0115112241

මහින්ද හමුවීමෙන් පසු 16යේ කණ්ඩායම අද තීරණාත්මක තීරණයකට එළඹෙන්න සූදානම්

තරංග රුක්ෂාන් /දිල්ශාන් තුෂාර




ආණ්ඩුවෙන් ඉවත් වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද (02) සිදු වනවා.

16 කණ්ඩායම අද දිනයේදී ඒකාබද්ධ විපක්ෂය සමග එක්වීමෙන් තම සටන තවත් ශක්තිමත් වන බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම නෙත් නිවුස් වෙත කියා සිටියේ. 

විපක්ෂයේ කණ්ඩායමක් ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවයි දහසයේ කණ්ඩායමේ සාමාජික පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටී. බී. ඒකනායක කියා සිටියේ.

16 කණ්ඩායමේ සාමාජිකයින් මීට පෙර හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු ශ‍්‍රී ලංකා පොදුජන පෙරෙමුණේ සාමාජිකයින් සමග සහ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් කිහිපදෙනෙකු සමග සාකච්ඡා කළා. කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර කියා සිටියේ තමන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වීමට සූදානම් නොමැති බවයි.

මෙම ප‍්‍රකාශයත් සමග අද පැවැත්වෙන සාකච්ඡාවට සහභාගී වීමට සූදානම්දැයි නෙත් නිවුස් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකරගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ ඊට සහභාගී වන ලෙසට තමාට කිසිදු ආරාධනාවක් නොලැබුණු බවයි. ආරාධනාවක් සිදු කළොත් සළකා බැලීමට සූදානම් බවද සඳහන් කළා. ජෝන් සෙනෙවිරත්නගේ තීන්දුව 16යේ කණ්ඩායමේ සියලුදෙනාගේ තීන්දුව නොවන බවද සඳහන් කළා. සම්බන්ධවීමට ක්‍රමයක් ඇති බවත් පාවඩ දමා පිළිගැනීමට අවශ්‍ය නැති වුවත් බල්ලෝ බළල්ලුන්ට වගේ සැළකීමට අවශ්‍ය නැති බවද සඳහන් කළා. දෙකම අතරමැද හොඳ ආරාධනාවක් පැමිණිය යුතු බවයි පෙන්වා දෙන්නේ. මේ වන විට 16යේ කණ්ඩායම තුළත් යම් යම් ගැටලුකාරී තත්ත්වයන් මතුව ඇති බවද සඳහන් කළා.

කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂය හා එක්වීමට සූදානම් බවට දහසයේ කණ්ඩායමේ කිහිපදෙනෙකු දැනටමත් ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කර අවසන්. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වන ඩබ්ලිව් ඞී. ජේ. සෙනෙවිරත්න මන්ත‍්‍රීවරයාද ඒ අතරට අයත්.

ඒ අනුව නිදහස් පක්ෂයේ සාමාජිකයින් වන දහසයේ කණ්ඩායම පිළිබඳව ගන්නා තීරණය කුමක්දැයි පක්ෂ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂමන් පියදාසගෙන් නෙත් නිවුස් විමසීමක් කළා. එහිදී ඔහු සඳහන් කළේ ජනමාධ්‍යවල පළ කරන අදහස් සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට තමන් සූදානම් නැති බවයි. පක්ෂයෙන් ඉවත් වෙන බවට තවමත් කිසිවෙක් තමාට ලිඛිතව දන්වා නැති බවද පෙන්වා දුන්නා.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය දරණ කිසිවෙකු හෝ ඒකාබද්ධ විපක්ෂයට නිල වශයෙන් එක්වුවහොත් ඔවුන් සම්බන්ධයෙන් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්කර අනිවාර්යෙන්ම තීරණයක් ගන්නා බවයි පක්ෂ මහ ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ.