Sunday, May 5, 2024

General line - 0115112241

විජයකලාගේ ආන්දෝලනාත්මක ප්‍රකාශය ගැන පැමිණිල්ලක් - ප්‍රකාශය කළ අවස්ථාවේ වේදිකාවේ සිටි ඇමතිගෙනුත් පැහැදිළි කිරීමක්

කසුන් කැළුම්/පසන් වික්‍රමතිලක




එල්.ටී.ටී.ඊ. සංවිධානය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් ඊයේ (02) සිදු කළ ආන්දෝලනාත්මක ප‍්‍රකාශය සිංහල රාවය සංවිධානය දැඩි පිළිකුලෙන් යුතුව හෙලාදකිනවා.

මෙම ප‍්‍රකාශය සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ද කරන බවයි ඔවුන් කියා සිටියේ. 

නිල මෙහෙවර ව්‍යාපෘතිය යටතේ යාපනය වීරසිංහම් ශාලාවේ පැවැති උත්සවයකදී රාජ්‍ය අමාත්‍යවරිය මෙම ප‍්‍රකාශය කළා. එහිදී ඇය කියා සිටියේ එල්. ටී. ටී. ඊ. සංවිධානය යළි ගොඩ නැගිය යුතු බවයි. හය හැවිරිදි පාසල් දැරියක් ඉකුත්දා දූෂණය කර ඝාතනය කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇය ඒ බව පැවසුවා.

එල්. ටී. ටී. ඊ. ය බලවත්ව පැවති සමයේ මීට වඩා නිදහසක් පැවති බවයි එහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ. ඒ අනුව සැකයෙන් හා බියෙන් තොරව ජීවත් වීමට සහ ළමයින් ආරක්ෂා වීමට නම් උතුරු හා නැගෙනහිර පළාත් තුළ එල්. ටී. ටී. ඊ. සංවිධානය යළිත් අත එසවිය යුතු බවද රාජ්‍ය අමාත්‍යවරිය පැවසුවා.

සිංහල රාවය සංවිධානය වෙනුවෙන් ඊට ප‍්‍රතිචාර දැක්වූ එහි මහ ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සඳහන් කළේ රාජ්‍ය අමාත්‍යවරියකගේ මෙම ප්‍රකාශය පිළිබඳව ජනතාව දැඩි විමතියකින් බලා සිටින බවයි.

රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මෙම ආන්දෝලනාත්මක ප‍්‍රකාශය කරන අවස්ථාවේ ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන ද උත්සව සභාවේ සිටියා. ඒ අනුව නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් ඔහුගෙන් ද විමසීමක් කළා.

එහිදී ඔහු සඳහන් කළේ "එතුමිය ළමා කටයුතු භාර රාජ්‍ය අමාත්‍යවරිය හැටියට ඔය සිදු වූ සිද්ධිය ගැන විශේෂ සිත්වේදනාවක් ඇති. එතුමිය කියන්න උත්සහ කළේ..මම හිතන විදිහට..ත්‍රස්තවාදය තිබෙන කාලේ ඔය වගේ සිද්ධියක් වුණා නම් නීතියක් නැති නිසා බොහෝ වේලාවට සිදු වන්නේ එවැනි අය වෙඩි තබා ඝාතනය කිරීම. ඉතින් එවැනි සමාජ යාන්ත්‍රනයක් අවශ්‍යයි කියන එක නෙමෙයි..මෙවැනි සිද්ධිවලට දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි කියන කාරණය තමයි කියන්න උත්සහ කර ඇත්තේ." යනුවෙනි. 

මේ සම්බන්ධයෙන් ඔබේ මතය ද ප‍්‍රකාශ කිරීමට නෙත් නිවුස් අවස්ථාව ලබාදෙනවා. ඔබේ මතය 077 200 18 65 අංකයට වයිබර් කළ හැකියි.