Saturday, January 11, 2025

General line - 0115112241

උසස් පෙළින් පසු පොලී රහිත ණයක්




ව්‍යවසායකත්වය රට දියුණු කිරීමේ ඇන්ජිම බවට පත් කළ යුතු බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කරනවා. ශ්‍රී ලාංකිකයන්ගේ ජානවල ඇති ව්‍යවසායකත්වය දියුණු කිරීම සඳහා හඳුන්වා දී ඇති එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන ඒ සඳහා සුවිශේෂ කාර්යයක් ඉටු කරනු ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දෙනවා. මංගල සමරවීර මේ බව කියා සිටියේ මාතර ශාන්ත තෝමස් පිරිමි විදුහලට වසර 175 සපිරීම නිමිත්තෙන් පැවැති උත්සවයට සහභාගී වෙමින්. 

අමාත්‍යවරයා එහි දී මෙසේ ද පැවැසුවා,

"ලෝකය ඉතා වේගයෙන් දියුණුව කරා යමින් තිබේ. තවත් වසර කිහිපයකින් ගණකාධිකාරීවරුන් අවශ්‍ය නැති වන තරමට, රියැදුරුන් අවශ්‍ය නැති තරමට තාක්ෂණය දියුණු වනු ඇති. එහෙත් අප තවමත් ඉන්නේ විභාග ක්‍රමය කේන්ද්‍ර කරගත් අධ්‍යාපන රටාවක. වසරකට උසස් පෙළ සඳහා පෙනී සිටින පිරිසෙන් කොටසක් පමණක් විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලබනවා. තවත් පිරිසක් ඔවුන්ගේ මාපියන්ගේ ආර්ථික ශක්තිය මත දෙස් විදෙස් උසස් අධ්‍යාපනයට යොමු වෙනවා. සෙසු පිරිස අදක්ෂයන් ලෙස සැලකීම සාමාන්‍ය සම්ප්‍රදායයි. එහෙත් සත්‍ය එය නොවේ. ඔවුන් කිසි ලෙසකත් අදක්ෂයන් ලෙස හැඳින් විය නොහැකි. 

මෙම පිරිස අදක්ෂයන් නොව.. සැබෑ හැකියාවන් ඇති පිරිසක් බව තහවුරු කළ යුතුයි. එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ රජය සිදු කරනු ලබන්නේ මෙම පිරිස සතු ව්‍යවසායකත්ව.. හැකියාවන්ට සහය දැක්වීමයි. ඒ වෙනුවෙන් රජය ණය ලබා දෙන අතර එම ණය මුදල්වල සම්පූර්ණ පොලී මුදල හෝ ඉන් සැලකිය යුතු කොටසක් රජය විසින් දැරීමට ද සිදු වෙනවා. 

ඉතිහාසය පුරා ශ්‍රී ලාංකිකයන් දස්කම් දක්වා ඇත්තේ කෘෂිකර්මාන්තයටත් වඩා දක්ෂ ව්‍යවසායකයන් ලෙසයි. අනුරාධපුර පොළොන්නරුව වැනි ප්‍රදේශවල සිදු කළ කැණීම්වලින් මතුවන්නේ විවිධ රටවල කාසි වර්ගයි. එබැවින් අප කළ යුත්තේ අපේ ජානවල ඇති ඒ ව්‍යවසායකත්ව හැකියාවන් දියුණු කිරීමට අවශ්‍ය ශක්තිය තරුණ පරපුර වෙනුවෙන් ලබා දීමයි. අපේ ඉලක්කය වන්නේ 2020 වන විට නව ව්‍යවසායකයන් ලක්ෂයක් බිහි කිරීමයි. ඊට අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදය සංහිඳියාව මේ වන විටත් ශක්තිමත්ව ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු යොදා තිබෙනවා."