Sunday, December 29, 2024

General line - 0115112241

අගමැතිගෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්




නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ හෙළිදරව්වට සම්බන්ධ හම්බන්තොට වරාය පිළිබඳව අද (05) පාර්ලිමේන්තුවේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළා.

''චින රජය කිසිඳු බලපෑමක් එල්ල කර තිබුණේ නෑ. චීන සමාගම්වලින් විවෘත යෝජනා කැඳවනු ලැබුවා. මහින්ද රාජපක්ෂ පාලනය ණය වෙලා නැව් නැති වරායක් හැදුවා. අප නැව් එන වරායක් බවට පත් කළා. හම්බන්තොට ඉදිරියේදී දියුණු වරායක් බවට පත් වේවී. වරාය වෙනත් යුද කටයුතු සඳහා යොදවන්නේ නෑ. අපේ ස්ථාවරය ඉතාම ස්ථාවර ලෙස ප්‍රකාශ කළා. ගුවන් යානා එන්නේ නැති මත්තල ගුවන්තොටුපලක් තිබෙනවා. ඉන්දියාව සමඟ සාකච්ඡා කරනවා. ඉදිරියේ දී මත්තලටත් ගුවන් යනා එන බවට විශ්වාසයක් තිබෙනවා. ඉන්දියාව හා චීනය සමඟ  කටයුතු කරන්නේ ස්වාධීන රාජ්‍ය හැටියටයි. අපේ ණය බර අඩුවෙලා. සංචිතය වැඩි වෙලා තිබෙනවා." යැයි ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැවසුවා.

 

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (05) පාර්ලිමේන්තුවේ දී සිදු කළ විශේෂ ප්‍රකාශයේ සම්පූර්ණ කතාව පහතින් දැක්වෙයි,

 

ගරු කතානායකතුමනි,

අප රජය බලයට පත් වූ වහාම මෙම ප්‍රශ්නය විසදීම පිළිබඳ සාකච්ඡා ආරම්භකලා. සුදු අලියෙක් ව තිබූ වරායෙන් ප්‍රයෝජනයක් ගතහැකි ආකාරයත් මහා ණය කන්දෙන් නිදහස් විය හැකි ආකාරයත් අප සාකච්ඡා කලා. ජනාධිපතිතුමත් පළමුව චීන රජය සමඟ කතාකලා.

 
අප රජයේ මතය වූයේ වරායේ මෙහෙයුම් රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරීත්ව සමාගමකට පැවරීම තුලින් ණය බරින් නිදහස් වීමත් හම්බන්තොට වරාය ලාභ ලබන නැව් ගෙන්නා ගත හැකි වරායක් බවට පත් කිරීමත්. අප රජය මෙම ස්ථාවරයේ දිගටම රැදී සිටියා. මෙම ස්ථාවරය සඳහා චීන රජයෙන් කිසිදු පීඩනයක් එල්ල නොවූ බව මම වගකීමෙන් ප්‍රකාශ කර සිටිනවා.

 
චීන රජයෙන් කල ඉල්ලීම වූයේ වරාය මෙහෙයුම් කටයුතු සඳහා පළමුවෙන් චීන සමාගම් වලින් යෝජනා කැදවන ලෙසයි. ඒ අනුව චින සමාගම් වලින් විවෘත යෝජනා කැදවනු ලැබුවා. අපවෙත ලැබුණු යෝජනා අතරින් වඩාත්ම වාසි දායක යෝජනාව වූයේ චයිනා මර්චන්ට් පොර්ට් සමාගම විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවයි. ඩොලර් මිලියන එක්දහස් අසූවක ආයෝජනයකට ඔවුන් එකඟ වුනා.

චීන ජනාධිපති තුමත්, චීන රජයත් මේ සම්බන්ධව පූර්ණ එකඟතාවය පලකලා. ඒ අනුව චයිනා මර්චන්ට් පොර්ට් සමාගම හා ශ්‍රී ලංකා වරාය අධිකාරිය එක්ව පිහිටුවන ලබන සමාගමක් යටතේ හම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු සිදු කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත 2016 දෙසැම්බර් 08 වන දින ගිවිසුමකට ඇතුලත් වුනා. ඒ අනුව චයිනා මර්චන්ට් පෝර්ට් සමාගමෙන් 2017 දෙසැම්බර් 22 දින ඩොලර් මිලියන 293 කුත්, 2018 ජනවාරි 28 දින ඩොලර් මිලියන 97 කුත් ශ්‍රී ලංකා රජයට ගෙවනු ලැබුවා. ඉතිරි ඩොලර් මිලියන 584 මේ වනවිට වරාය අධිකාරියට ගෙවා තිබෙනවා. මේ අප රජය මෙන්ම මේ රටේ ජනතාව ලැබූ විශාල ජයග්‍රහණයක් බව මා කියන්න කැමතියි.

රාජපක්ෂලා ඩොලර් මිලියන ගනනින් ණය වෙලා නැව් නැති වරායක් හැදුවා. ණයෙනුත් නිදහස් වෙලා හම්බන්තොට වරාය නැව් එන වරායක් බවට පත් කරන්නත් අපට හැකි වුනා. වරාය විකිණීමක් මෙතන කිසිසේත්ම සිදු වෙලා නැහැ. වරායේ මෙහෙයුම් රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරීත්ව සමාගමකින් සිදුකිරීම පමණයි සිදු වන්නේ. හම්බන්තොට වරාය ඉදිරියේදී දියුණු වරායක් බවට පත් වේවි.

එසේම මෙම වරාය කිසිදු යුදමය අරමුණක් සඳහා යොදා ගන්නේ නැහැ. ඒ බව පැහැදිළිව චයිනා මර්චන්ට් ගිවිසුමේ සඳහන් වෙනවා. චීන ජනාධිපතිතුමා සමඟ පැවති සාකච්ඡාවේදීත් අපගේ ස්ථාවරය ඉතා පැහැදිළිව ප්‍රකාශකර තිබෙනවා.

ගරු කතානායකතුමනි,

 
නැව් නැති වරාය වගේම අහස් යානා එන්නේ නැති ගුවන් තොටුපලකුත් මත්තල තිබෙනවා. ඒකත් රාජපක්ෂ ණයක්. මත්තල ගුවන්තොටුපල පිළිබඳවත් අප පළමුව චීන රජය සමඟ සාකච්ඡා කලා. නමුත් යහපත් ප්‍රතිචාරයක් ලැබුනේ නැහැ. ඒ නිසා අප ඉන්දියාව සමඟ සාකච්ඡා කරමින් සිටිනවා. ඉදිරියේදී මත්තල ගුවන්තොටුපලේ ණයෙනුත් නිදහස් වී ගුවන්යානා පැමිනෙන ගුවන්තොටුපලක් බවට මත්තල ගුවන්තොටුපල පත්වෙන බව මට විශ්වාසයි.