Friday, May 3, 2024

General line - 0115112241

පාකිස්ථාන මහමැතිවරණය අදයි : ආරක්ෂාවට තුන්ලක්ෂක හමුදා බල ඇණියක්

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




අද (25) දින පැවැත්වීමට නියමිත පාකිස්ථානයේ 11 වන මහමැතිවරණය සදහා 370,000 ක හමුදා සෙබළුන් ප්‍රමාණයක් ආරක්ෂක රාජකාරී සදහා යොදවා ඇති බවට එරටින් ලැබෙන ආරංචි මාර්ග සදහන් කර සිටිනවා. මෙය පාකිස්ථාන මහමැතිවරණයක් වෙනුවෙන් යොදවනු ලැබූ විශාලතම හමුදා ආරක්ෂාව ලෙස ඉතිහාස ගත වනවා.

මෙවර මහමැතිවරණය කඩාකප්පල් කරන බවට ඉස්ලාමිය අන්තවාදීන් විසින් අනතුරු අඟවා තිබීම හේතුවෙන් මෙවැනි හමුදා සෙබළුන් සංඛ්‍යාවක් යෙදෙවිමට පියවර ගත් බවයි හමුදාපති ජෙනරාල්  Qamar Bajwa සදහන් කරන්නේ.

මහමැතිවරණයේ ජන්දය ප්‍රකාශ කිරීම් සිදුකිරීම සදහා ජන්ද මධ්‍යස්ථාන 85,000 ක් සුදානම් කර පවතින අතර එම ජන්ද මධ්‍යස්ථාන වල ආරක්ෂාව සහ ජන්ද පෙට්ටි වල ආරක්ෂාව වෙනුවෙන් හමුදාව කටයුතු කරනු ඇති බව සදහන් වනවා. 

මැතිවරණ ප්‍රචාරණ කටයුතු අතර වාරයේදී එල්ලවූ ප්‍රහාර සැලකිල්ලට ගනිමින් මෙවර මැතිවරණයට ත්‍රස්ත කණ්ඩායම් වලින් එල්ලවිය හැකි තර්ජන හේතුවෙන් පාකිස්ථාන හමුදාව ආරක්ෂක රාජකාරි සිදුකිරීමට තීරණය කර තිබුනත් එරට බහුතර දේශපාලන පක්ෂ සහ අපේක්ෂකයින් එම තීරණය ගැන සිය නොසතුට පළකර තිබෙනවා.

ඒ 1947 වසරේදී පාකිස්ථානය නිදහස ලැබීමෙන් අනතුරුව අවස්ථා ගණනාවකදී හමුදාව කුමන්ත්‍රණ සිදුකරමින් රටේ පාලනය සියතට ගැනීමට කටයුතු කිරීමේ ඉතිහාසය ගැන ඔවුන් තුල මතුවී තිබෙන සැකය හේතුවෙනි.

කෙසේ වුවත් හමුදා ප්‍රධානි ජෙනරාල්  Qamar Bajwa සදහන් කර සිටින්නේ මැතිවරණ ආරක්ෂාව වෙනුවෙන් යොදවා තිබෙන සියලුම හමුදා සෙබළුන් රටේ පවතින මැතිවරණ නීති රීති වලට යටත්ව කටයුතු සිදුකරනු ඇති බවත් මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය වටපිටාව සැකසීම උදෙසා අවශ්‍ය සහය මැතිවරණ නිලධාරීන්ට ලබාදීම සිදුකරනු ඇති බවයි.

ඉකුත් ජුනි 13 වනදා පාකිස්ථානයේ බලුකිස්තාන් ප්‍රාන්තයේ පැවති මැතිවරණ රැලියකට එල්ලවූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 151 දෙනෙක් මිය ගියා.

හිටපු ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන ඉම්රාන් ඛාන් ද මෙවර පාකිස්ථාන මහ මැතිවරණයට තරග කරනු ලබනවා.