Thursday, May 2, 2024

General line - 0115112241

බෝම්බ පිපිරුම් මිනී මැරුම් මැද පාකිස්ථාන මැතිවරණය නිමවෙයි - ඉම්රාන් ඛාන්ගේ ඡන්දය අවලංගුවන ලකුණු

පවිත්‍රා මදුහර්ෂණි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




පාක්ස්ථාන ජාතික සභාව සඳහා නියෝජිතයින් 272 දෙනෙකු තෝරා පත් කර ගැනීම වෙනුවෙන්, ජාත්‍යන්තරයේ දැඩි අවදානය මධ්‍යයේ අද (25) උදෑසන ආරම්භ වූ පාකිස්ථාන මහ මැතිවරණයේ ඡන්ද විමසීමේ කටයුතු ප්‍රචණ්ඩක්‍රියා මැද අවසන් වුණා. මේ සඳහා සුදුසුකම් ලබා සිටි ඡන්ද දායකයින් සංඛ්‍යාව මිලියන 106ක්.  

ඒ අනුව ආරක්ෂක අංශ සාමාජිකයින් ලක්ෂ 08කගේ පමණ දැඩි ආරක්ෂාව මධ්‍යයේ මෙවර මැතිවරණය පැවැත්වුනත් ප‍්‍රදේශ රැසකින් ප‍්‍රචණ්ඩ කි‍්‍රයා රැසක් වාර්තා වුණා. පුද්ගලයින් 28 දෙනෙකුට මරු කැඳවමින් අයි එස් සටන්කාමීන් එල්ල කළ කෙටා ප‍්‍රාන්ත්යේදී එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරය ඒ අතරින් ප‍්‍රමුඛයි. 

මේ අතර ඡන්ද දායකයින් පිරිසක් ප‍්‍රවාහනය කරමින් තිබූ ජීප් රථයක් පෙරළියාමෙන් පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. එසේම තවත් ඡන්ද මධයස්ථාන කිහිපයක ඇතිවූ ගැටුම් හේතුවෙන් පුද්ගලයින් 15 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ. තවත් ඡන්ද මධ්‍යස්ථානයකදී කාන්තාවන් හට ඡන්දය භාවිත කිරීමට ඉඩ ලබා නොදුන් පුවතක්ද විදෙස් මාධ්‍ය අනාවරණ කර තිබුණා. 

ඒ අනුව එම ඡන්ද මධ්‍යස්ථානයේ ලියාපංදිංචි වී සිටි කාන්තාවන් 2000කට ආසන්න පිරිසකට සිට ජන්දය ප‍්‍රකාශ කිරීමේ අයිතිය අහිමි වූ බවයි පැවසෙන්නේ. 

වයඹ දිග ප‍්‍රදේශයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථාන කිහිපයක් තලෙයිබාන් සටන්කාමීන් යටතේ පැවති බවත් එහිදී ඡන්දය භාවිත කළ පුද්ගලයින් හට ඔවුන් බලපැම් එල්ල කළ බවත් පකිස්තාන මාධ්‍ය පවසනවා. 

මේ අතර ඡන්ද සටනේ ඉදිරියෙන් පසුවන හිටපු සුපිිරි කි‍්‍රකට් කි‍්‍රඩක ඉම්රාන් ඛාන් භාවිත කළ ඡන්දය අත්හිටුවන බවට එරට ඇතැම් මාධ්‍ය හරහා පැතිර ගිය ප‍්‍රකාශයක් සඳහා ඉම්රාන් ඛාන් නියෝජනය කරන පී ටී අයි පක්ෂය ප‍්‍රතිචාර දක්වා තිබෙනවා. අදාළ වාර්තා මගින් පළ කර තිබුණේ ඉම්රාන් ඛාන් ඡන්දය භාවිත කිරිමේදී මැතිවරණ නීති උල්ලංඝණය කළ බැවින් ඔහුගේ ඡන්දය අවලංගු වනු ඇති බවයි. එම සියලූ වාර්තා අසත්‍ය බවයි  පි ටී අයි පක්ෂය ප‍්‍රකාශ කර ඇත්තේ.