Thursday, May 2, 2024

General line - 0115112241

කොටසක් ක්‍රමවත් - කොටසක් අක්‍රමවත්! මන්නාරමෙන් හමුවූ සමූහ සුසානය ගැන නවතම තොරතුරු මෙන්න (PHOTOS)

මාධව කුලසූරිය -වවුනියාව




මන්නාරම  පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවු සමූහ මිනිවළ තුළින් මිනිස් සිරුරු 53 කට අදාළ අස්ථි කොටස් ඊයේ (25) සවස වන විට හමුවි ඇති බව පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය  නිලධාරී එස්. රාජපක්ෂ පවසනවා. සොයාගත් අස්ථි කොටස්වලින් මිනිස් සිරුරු 53 කට අදාළ අස්ථි කොටස් ක්රවමානුකූලව මතුකර ගැනීමට හැකිවි ඇති අතරලඉන් සිරුරු 34 කට අදාළ කොටස් කැනීම් මගින් ඉවත් කර ගැනීමට හැකිවි  ඇතැයි ඔහු වැඩිදුරටත් පැවසුවා.

කැනීම් මගින් ඉවත් කළ සිරුරු කොටස් මුද්‍රා  තබා මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ තැන්පත් කොට තිබෙනවා.

මන්නාරම පැරණි සතොස ගොඩනැඟීල්ල කඩා දැමීමෙන් ඉවත් කළ පස් ගොඩක තිබි මාර්තු 26 වැනිදා අස්ථි කොටස් තොගයක් හමුවීමෙන් අනතුරුව අදාළ ස්ථානය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම ආරම්භ කරනු ලැබුවා.

මන්නාරම පොලිසිය අදාළ ස්ථානය සම්බන්ධයෙන් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පළමුව මන්නාරම මහේස්ත්‍රාත් ඒ.ජි.ඇලෙක්ස්රාජා ගේ නියෝග යටතේ අදාළ ස්ථානයේ කැනීම් කටයුතු ආරම්භ කළා.

පුරාවිද්‍යා , රජයේ රස පරීක්ෂක හා අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ මෙහෙයවීම යටතේ දින 40 ක කාලයක් අදාළ ස්ථානය මේ වන විට කැනීම් කොට පරීක්ෂණ පවත්වා තිබෙනවා. එහිදි මිනිස් සිරුරු 53 කට අදාළ හිස් කබල් කොටස් හා තවත් අස්ථි කොටස් සොයාගෙන ඇති බවද මන්නාරම පොලිසියද තහවුරු කළා.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතුවලට එක්ව සිටින කැළණිය විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයේ පුරාවිද්‍යා මහාචාර්ය රාජ් සෝමදේවගෙන් කළ විමසීමේදී ඔහු පැවසූවේ මන්නාරම සතොස ගොඩනැගිල්ල පැවති ස්ථානයෙන් හමුවු මිනිස් අස්ථි සම්බන්ධයෙන් නිශ්චිත කාල නීර්ණයක් මෙතෙක් සිදුකොට නොමැති බවයි. අදාළ අස්ථි කොටස් හමුවීම සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේදී එක් කොටසක කිසියම් නිශ්චිත ආකාරයට ක්‍රමානුකූලව අස්ථි කොටස් පවතින බවත්, තවත් ස්ථානයක අස්ථි හමුවු අස්ථි කොටස් අක්‍රමවත් ආකාරයටත් තිබෙන බවද හෙතෙම සදහන් කළා.