Wednesday, May 1, 2024

General line - 0115112241

විනෝද චාරිකාව ගිය බස් රිය ප්‍රපාතයට : 33 දෙනෙක් මරුට

දිනුක් හේවාවිතාරණ




විනෝද චාරිකාවක් සදහා පිටව ගිය සරසවි කාර්යමණ්ඩල සේවකයින් 34 දෙනෙක් රැගත් බස් රථයක් අඩි 500 ක ප්‍රපාතයකට පෙරලීමෙන් එහි ගමන් ගත් පුද්ගලයින් 33 දෙනෙක් මිය ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටිනවා.

මහාරාෂ්ට කෘෂිකර්ම පිඨයේ සේවකයින් පිරිසක් මෙම බස් රථයේ සිට ඇති අතර ඔවුන් ඉන්දියාවේ සංචාරක පුරවරයක් වන ගෝවා බලා ගමන් කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධියෙන් එක් පුද්ගලයෙක් දිවි ගලවා ගැනීමට සමත්ව තිබෙනවා. ඔහු සදහන් කර සිටියේ පැවති වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් බස් රථය මාර්ගයෙන් ලිස්සා ප්‍රපාතයට පෙරලුනු බවත් තමා බස් රථයෙන් පිටතට විසිවූ බවයි. එම අවස්ථාවේදී ගසක් අත්තක් අල්ලා ගැනීම නිසා තමන්ගේ දිවි බේරුණු බවත් ඉතා අසීරුවෙන් යලි මාර්ගයට පැමිණ වගකිවයුතු අංශ වෙත දැනුම් දුන් බව එම පුද්ගලයා ප්‍රකාශ කර සිටියා.
ගලවා ගැනීමේ මෙහෙයුම් වල නිරතව සිටින ආපදා ඒකකයේ නිලධාරින් සදහන් කර සිටින්නේ මේ දක්වා මල සිරුරු 08ක් සොයා ගැනීමට හැකිවූ බවයි.