Monday, April 29, 2024

General line - 0115112241

පාකිස්ථාන නව අගමැතිගේ දිවුරුම් දීමේ උත්සවයට ඉන්දීය අගමැතිට ආරාධනා කර නැහැ

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




පාකිස්ථානයේ නව අගමැතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිතව සිටින හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන් සිය දිවුරුම් දීමේ උත්සවය සදහා සුපිරි බොලිවුඩ් නළු අමීර් ඛාන් සහ හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙක් වන සුනිල් ගවස්කාර් සහ කපිල් දේව් හට ආරාධනා කර තිබෙනවා.

අගෝස්තු 11 වෙනිදා පැවැත්වීමට නියමිත දිවුරුම් දීමේ උත්සවය සදහා ආරාධනා කරනු ලබන අමුත්තන් ලැයිස්තුව සකස් කිරීම සදහා පාකිස්ථාන විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා සහ ඉම්රාන් ඛාන් අතර පැවති හමුවේදී ඔහු විසින් මෙම ඉන්දියාවේ සිය මිතුරන් තිදෙනා හට ආරාධනා කරන මෙන් දන්වා ඇති බව PTI පක්ෂය නිවේදනය කරනවා.

පාකිස්ථාන නව අගමැතිවරයාගේ දිවුරුම් දීම සදහා දකුණු ආසියානු කළාපීය සහයෝගිතා සංගමයේ (සාර්ක්) රටවල් නියෝජනය කරනු ලබන නායකයින් හා චීන සහ තුර්කි රාජ්‍ය නායකයින්ට ආරාධනා කර තිබෙන බවට පළකර තිබු මාධ්‍ය වාර්තා නිවැරදි නොවන බවද එම පක්ෂය නිවේදනය කළා.

විදේශ නායකයින් කැදවීම අතිශය සංවේදී කාරණාවක් බැවින් එවැනි කාරණාවකදී සියලු කරුණු සැලකිල්ලට ගැනීම අතිශය වැදගත් බවයි පාකිස්ථාන විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කර ඇත්තේ.

කෙසේ වුවත් විදේශ රටවල රාජ්‍ය නායකයින්ට ආරාධනා කිරීම පිළිබඳව එළඹෙන දින වලදී තීරණය කරනු ඇති බවයි ඉම්රාන් ඛාන් නියෝජනය කරනු ලබන PTI පක්ෂය නිවේදනය කලේ.

ඉකුත් ජුලි 25 වෙනිදා පැවති පාකිස්ථාන මහ මැතිවරණයෙන් ඉම්රාන් ඛාන්ගේ PTI පක්ෂය ජයගනු ලැබුවත් පාර්ලිමේන්තුවේ බහුතරය බලය ලබා ගැනීම සදහා සුළු හා ස්වාධින පක්ෂ සමග එක්ව සභාග රජයක් පිහිටුවීමට සිදුව තිබෙනවා.