Sunday, May 5, 2024

General line - 0115112241

දඹුල්ලේ ගැටුමට හේතුව අනාවරණය වේ (UPDATE) (PHOTOS)

අශෝක එරමිණිගම්මන/කාංචන කුමාර ආරියදාස




දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ඊයේ (01) දින අවසන් වූ තරගයත් සමඟ ඇති වූ කලහකාරී තත්ත්වයට හේතුව මේ වන විට අනාවරණය වෙමින් පවතිනවා.

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දිවා රාත්‍රි තරඟය අවසන් වීමත් සමඟ ක්‍රීඩා ලෝලීන් ක්‍රීඩාංගණයෙන් පිටව යද්දී පුද්ගලයෙකු  ක්‍රීඩාංගණය ඉදිරිපිට රථවාහන රාජකාරියේ යෙදී සිටි පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකුට වීදුරු බෝතලයකින් හිසට ප්‍රහාරයක් එල්ලකොට පලා ගොස් තිබෙනවා. 

පසුව එම පලාගිය පුද්ගලයා පිටුපස ලුහුබැඳ ගොස් පුද්ගලයෙකු අල්ලා ගෙන ඇති අතර එහිදී පොලීසිය විසින් ඔහුට පහර දෙන්නට පටන්ගෙන ඇති බවයි අදාළ අවස්ථාවේ එම ස්ථානයේ සිටි අප වාර්තාකරු අනාවරණය කළේ.  එම අවස්ථාවේ අදාළ ස්ථානයට පැමිණ ඇති එක්සත් ජාතික පක්ෂ මධ්‍යම පළාත් සභා මන්ත්‍රි තිස්ස බණ්ඩාර හේරත් මෙම පහරදීම නවතාලන ලෙස එහි සිටි පොලිස් නිලධාරීන්ට දැනුම් දී තමන් පළාත් සභා මන්ත්‍රි බවත් හඳුන්වා දී තිබෙනවා. පසුව තමාට පරුෂ වචනයෙන් බැණ පොලිස් කැරලි මර්දන අංශයේ පිරිසක් බැටන් පොලුවලින් සහ පොලිසියේ ඉණ පටිවලින් තමාට දැඩි ලෙස පහර දුන් බවයි පළාත් සභා මන්ත්‍රි තිස්ස බණ්ඩාර පවසා සිටියේ.  

තුවාල ලබා දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබන පෞද්ගලික ආරක්ෂක නිලධාරී අජිත් පුෂ්පකුමාර කියා සිටියේ තමන් වාහනයක් හසුරුවමින් සිටියදී එකවරම පිටුපසින් පැමිණි අයෙකු තමාගේ හිසට බෝතලයකින් ප්‍රහාරයක් එල්ල කළ බවයි.

එසේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකුට පහර දී දිව යන්නට උත්සහ කළ බව කියන දඹුල්ල ප්‍රදේශයේ තරුණයකු අත්අඩංගුවට ගෙන එම ස්ථානයේදීම කැරළි මර්දන නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් ඔහුට පහර දෙන අවස්ථාවේ දී ඔහු කෑ කෝ ගසමින් කියා සිට ඇත්තේ "තමන් එවැනි පහරදීමක් සිදු නොකළ බවත් වෙනත් සුදු පැහැති කමිසයකින්  සැරසී සිටි අයෙකු තමා අසලින් වේගයෙන් දිව ගිය බවයි" යනුවෙනි.

පසුව එම ස්ථානයේ සිටි තවත්  සුදු කමිසයකින් සැරසී සිටි තරුණයෙකු  අත්අඩංගුවට ගෙන ඔහුද දඹුල්ල පොලිසියට භාරදී තිබෙනවා.

කෙසේවෙතත් දඹුල්ල මූලස්ථාන පොලිසිය සඳහන් කර සිටියේ මෙම සිද්ධීන් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කොට තිබෙන බවයි.
 

 

-----------------------------

ක්‍රිකට් තරගය මැද්දේ ඊයේ රෑ උණුසුම් තත්ත්වයක් - 10ක් අත්අඩංගුවට

(02-08-2018 08:47)

 

දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් අතර ඊයේ (01) පැවැති දිවා රාත්‍රි එක්දින ක්‍රිකට් තරගය අතරතුර රාත්‍රියේ ඇතිවූ කලහකාරී සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයින් දස දෙනෙකු දඹුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම ගැටුම සමතයකට පත් කිරීමට උත්සහා දරු මධ්‍යම පළාත් සභා මන්ත්‍රි තිස්ස බණ්ඩාර ද තුවාල ලබා දඹුල්ල මුලික රෝහලට ඇතුළත් කර තිබෙන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ආරක්ෂාවට සිටි ප්‍රධානියෙකු ද බිමත් පුද්ගලයෙකු එල්ල කල බෝතල් ප්‍රහාරයකින් තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුලත් කර තිබෙනවා.

ශ්‍රී ලංකාව සමග පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 4ක ජයක් ලබාගැනීමට දකුණු අප්‍රිකාව ඊයේ සමත්වුනා. 

ඒ අනුව තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය 2 ට බින්දුවක් ලෙසට දකුණු අප්‍රිකාව මේ වන විට ඉදිරියෙන් පසුවනවා.