Saturday, April 27, 2024

General line - 0115112241

වෛද්‍ය වර්ජනයෙන් අසරණ රෝගීන් අමාරුවේ - රෝහල් සායන පාලුවට යයි (PHOTOS/UPDATE)

මාධව කුලසූරිය/ රවීන්ද්‍ර චන්ද්‍රලාල්/ ලලිත් චාමින්ද/ චන්දන උඩුවාවල




රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් කැදවන ලද එක්දින සංකේත වැඩවර්ජනය හේතුවෙන් රටපුරා රජයේ රෝහල්වල ප‍්‍රතිකාර සේවා අඩාල වී තිබෙනවා. මහනුවර ශික්‍ෂණ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සමන් රත්නායක පැවසුවේ බාහිර රෝගී අංශයේ ප‍්‍රතිකාර, පෙර සැලසුම්කර තිබූ සැත්කම් මෙන්ම සායන සේවාද අද සිදු නොවන බවයි. බාහිර රෝගී අංශයෙන් හා සායනවලට දිනකට රෝගීන් 4000ත් 5000ත් අතර ප්‍රමාණයක් පැමිෆෙන බවත් ඔවුන් මේ  හේතුවෙන් අපහසුතාවයට පත්ව ඇති බවත් ඔහු පැවසුවා.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් අනුරාධපුර ශික්‍ෂණ රෝහලෙන්ද විමසීමක් කළා. මේ එහි අධ්‍යක්‍ෂ වෛද්‍ය ඞී එම් එස් සමරවීර පැවසුවේ රෝහලේ වාට්ටු තුළ සිදුවන කටයුතු සිදුකෙරුණද බාහිර රෝගී අංශයේ සහ පෙර සැලසුම්කර තිබූ සැත්කම් ආදිය සිදු නොවන බවයි.

කරාපිටිය ශික්ෂණ රෝහලේ ද බාහිර රෝගී අංශය සහ සායනික කටයුතු අඩාලව ඇති බවයි නෙත් නිවුස් ගාල්ල වාර්තාකරු රවීන්ද්‍ර චන්ද්‍රලාල් පැවසුවේ.

මීට පෙර සිදු කෙරුණු වෛද්‍ය වැඩවර්ජන මෙන් නොව අද සිදු කෙරෙන වෛද්‍ය වැඩවර්ජනයේදී පෞද්ගලික රෝහල්වල ප‍්‍රතිකාර සේවා සදහාද සුළු බලපෑමක් සිදුව තිබෙනවා. පෞද්ගලික රෝහල්වල චැනලින් සේවාවන්ගෙන් අද ඉවත්ව සිටින බවයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පැවසුවේ.

පෞද්ගලික රෝහල්වල චැනලින් සේවාවල සුළු අඩාලවීමක් පැවතියද එම රෝහල්වල සෙසු ප‍්‍රතිකාර සේවා තවදුරටත් සාමාන්‍ය පරිදි සිදුවනවා. 

----------------------------------------------------

වෛද්‍ය වර්ජනයෙන් අසරණ රෝගීන් අමාරුවේ - රෝහල් සායන පාලුවට යයි 

03-08-2018 10:26

වෛද්‍යවරුන් ආරම්භකර ඇති කොට තිබෙන වැඩ වර්ජනයට සමගාමීව වවුනියාව රෝහල් වෛද්‍යවරුන්ද අද (03) උදැසන සිට වැඩ වර්ජනයට එක්ව සිටිනවා. සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් කිරීමට එරෙහිව මෙන්ම මූලික වැටුප් ඉහළ නැංවීම, රාජ්‍ය සේවයේ දිමනා ලබාදීම, වෛද්‍යවරුන්ගේ බාධා කිරිමේ රැදීසිටිමේ හා පැමිණිමේ දිමනාව ඉහළ නැංවීම සහ වෛද්‍යවරුන්ගේ දරුවන්ට පාසල් ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් වැඩ වර්ජනයට හේතු පාදක වී තිබෙනවා.

වැඩ වර්ජනය හේතුවෙන් වෛද්‍යවරුන් රෝහල් ප්‍රතිකාර සේවාවලින් බැහැරව සිටිම හේතුවෙන් දුර බැහැර ප්‍රදේශවල සිට පැමිණි ජනතාවට ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකිවීම හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට පත්ව සිටිනවා.