Monday, April 29, 2024

General line - 0115112241

වෙනිසියුලා ජනාධිපති ඝාතනයට තැත් කල පුද්ගලයින් 6ක් අත්අඩංගුවට (VIDEO/PHOTOS) (UPDATE)

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




වෙනිසියුලා ජනාධිපති නිකොලොස් මාදුරෝ ඝාතනය කිරීමට තැත් කිරීමේ චෝදනාවට මේ වන විට පුද්ගලයින් 6 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව එරට අභ්‍යන්තර කටයුතු ඇමතිවරයා සදහන් කර සිටිනවා.

පසුගිය සෙනසුරාදා යුධ හමුදා උත්සවයක් අමතමින් සිටි ජනාධිපති නිකොලොස් මාදුරෝ සිටි ස්ථානයට ආසන්න යෙන් පුපුරණ ද්‍රව්‍ය රැගත් ඩ්‍රෝන් යානා දෙකක් වැටී පුපුරා ගියා. ඉන් පුද්ගලයින් 7 දෙනෙක් තුවාල ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා.

ජනාධිපති නිකොලොස් මාදුරෝ කියා සිටියේ මෙම සිද්ධියට සම්බන්ධ සියලුම දෙනාට දැඩි දඬුවම් ලබා දෙන බවයි. 

ජනාධිපතිවරයා චෝදනා කර සිටියේ කොලොම්බියාව තමන්ව ඝාතනය කිරීමට උත්සහ දැරූ බවයි. නමුත් ඔහු එම චෝදනා එල්ල කිරීමට පදනම් වූ කරුණු කිසිවක් හෙළි කලේ නැති බව එරට මාධ්‍ය සදහන් කළා.

මේ අතර ජනාධිපතිවරයාගේ පාලනයට එරෙහිව සිටි විපක්ෂයේ දේශපාලකයින් රැසක් මේ වන විට රට හැර ගොස් තිබෙනවා.

දැඩි හමුදා පාලනයක් සහිතව රට පාලනය කරනු ලබන ජනාධිපතිවරයාගේ නියෝගය මත අත්අඩංගුවට ගෙන සිටින විරුද්ධ දේශපාලන ආධාරකරුවන් සංඛ්‍යාව 200 ඉක්මවනවා.

ආර්ථික කඩා වැටීමත් සමග වෙනිසියුලානු ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටින අතර ඇතැම් ප්‍රදේශවල ජල සැපයුම් පවා නොමැති බව ඉකුත් සතියේදී මාධ්‍ය වාර්තා කර සිටියා.


...............................................................................................................................................................

වෙනිසියුලා ජනපති ඝාතනය කිරීමට එල්ල වූ ඩ්‍රෝන් ප්‍රහාරය 

(05-08-2018 05:40)

එළිමහන් හමුදා උත්සවයක් අමතමින් සිටි වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මාදුරෝ ඉලක්ක කර ගනිමින් එල්ලවූ ඩ්‍රෝන් ප්‍රහාරයකින් ජනාධිපතිවරයා දිවි බේරා ගැනීමට අද (05) සමත් වුනා. 

වෙනිසියුලානු සන්නිවේදන අමාත්‍ය ජෝර්ජ් රොද්‍රිගස් පැවසුවේ ජනාධිපතිවරයා උත්සවය ආමන්ත්‍රණය කරමින් සිටි ස්ථානය ආසන්නයට පුපුරණ ද්‍රව්‍ය පිරවූ ඩ්‍රෝන් යානා දෙකක් වැටී පුපුරා ගිය බවයි. 

ඩ්‍රෝන් ප්‍රහාරය එල්ලවන  අවස්ථාවේදී ජනාධිපතිවරයාට අමතරව වේදිකාව මත සිටි රජයේ සහ හමුදා ප්‍රධානින් වහා ආරක්‍ෂිත ස්ථානයන් කරා රැගෙන ගිය බවත් පිපිරීමෙන් පුද්ගලයින් 7 දෙනෙක් තුවාල ලැබූ බව අමාත්‍යවරයා රොයිටර් පුවත් සේවයට සදහන් කර සිටියා.

ජනාධිපති නිකොලොස් මාදුරෝ හමුදා උත්සවය අමතමින් සිටි අවස්ථාව එරට මාධ්‍ය මගින් සජීවීව විකාශනය වෙමින් තිබු අතර ඩ්‍රෝන් යානය එන බව දැකීමත් සමග ජනාධිපතිවරයා ඇතුළු පිරිස කලබලවන අයුරු සහ හමුදා සෙබළුන් දිවයන අයුරු රුපවාහිනිය මගින් විකාශනය වී තිබුනා.