Sunday, May 5, 2024

General line - 0115112241

ඉතාලියේ අධිවේගී මාර්ගයක ගුවන් පාලමක් කඩා වැටෙයි : 35 දෙනෙක් මරුට (VIDEO/PHOTOS)

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ඉතාලියේ ජෙනෝවා නගරයට ආසන්නයේ පිහිටි අධිවේගී මාර්ගයේ ගුවන් පාලමක කොටසක් කඩා වැටීමෙන් මේ වන විට පුද්ගලයින් 35 දෙනෙක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. පාලම මතින් ගමන් කරමින් තිබු වාහන රැසක් ඉන් පහළට ඇඳ වැටී ඇති බවයි ඉතාලි මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

ඉතාලියට බලපා තිබෙන දැඩි සුළං සහිත කාලගුණික තත්ත්වයත් සමග මෙම ගුවන් පාලමේ ආධාරකයක් පළමුවෙන් කඩා වැටී ඇති අතර ඒ සමග මීටර් 80 ක් පමණ දිගින් යුත් පාලමේ කොටසක් ඒ මත තිබු වාහන සමග ඊට පහලින් පිහිටි රේල් පාර මතට සහ ඇළ මාර්ගයකට වැටී තිබෙනවා.

ආපදා සහන සේවකයින් සදහන් කරන්නේ මෙලෙස වැටී තිබෙන වාහන අතර සිරවී සිටි පුද්ගලයින් දෙදෙනෙකුගේ දිවි බේරා ගැනීමට ඔවුන් සමත්වූ බවයි. 

අනතුරෙන් සිරවී සිටින පුද්ගලයින් සොයා ගැනීම සදහා පොලිස් නිල සුනඛයින් පවා කැඳවා ඇති බවයි එරට ප්‍රවාහන අමාත්‍ය Danilo Toninelli සදහන් කර සිටින්නේ.

කඩා වැටීමට ලක්වූ මෙම ගුවන් පාලම ජෙනෝවා නගරයේ සිට ප්‍රංශය උතුරු මිලාන් දෙසට දිවෙන අධිවේගී මාර්ගයේ සම්බන්ධ වන ප්‍රධාන පිවිසුම් මාර්ගයද වනවා.

මෙම පාලම 1967 වසරේදී ඉදිකර ඇති අතර 2016 වසරේදී එහි පිළිසකර කිරීම් සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ.