Tuesday, April 30, 2024

General line - 0115112241

මුරුංගා ගැන කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් නිවේදනයක්




ශ්‍රී ලංකාවේ ඉබේ වැවෙන ශාකයක් වන මුරුංගා (Morenga - Cassia Fistulosa) කරල් ආහාරයට ගත්ත ද, මුරුංගා කොළ අපේ රටේ තවමත් එතරම් ජනප්‍රිය නොවූ ආහාරයක්.

මුරුංගා පත්‍රවල බහුල වශයෙන් විටමින් B, විටමින් C, ප්‍රෝ විටමින් A,බීටා කැරොටින්, විටමින් K, මැංගනීස් හා ප්‍රෝටීන් ද වෙනත් අත්‍යවශ්‍ය  පෝෂ්‍ය පදාර්ථ රැසකින් ද සමන්විත බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.

මුරුංගා පත්‍රවල කැල්සියම් ඔක්සලේට් ප්‍රමාණය නිවිතිවලට වඩා විසිපස් ගුණයකට වඩා ඉහළ මට්ටමක පවතිනවා. එමෙන්ම නිවිතිවල බහුල වශයෙන් තිබෙන යකඩ ඉක්මනින්ම මිනිස් සිරුරට අවශෝෂණය වන්නේ නැහැ. නමුත්  මුරුංගා පත්‍රවල ඇති යකඩ ඉක්මනින්ම මිනිස් සිරුරට අවශෝෂණය වන නිසා මුරුංගා පත්‍ර ආහාරයට ගැනීම මඟින් සාර්ථක ප්‍රතිඵල අත්වෙන බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ.

වසර සිය ගණනක් තිස්සේ අපේ රටේ මුරුංගා ශාකය පැවතිය ද මෙතෙක් ඉන් නිසි ප්‍රයෝජනයක් ගෙන නැති අතර එම නිසා මෙතෙක් කිසිදු අවධානයට ලක් නොවූ මුරුංගා ශාකයේ පත්‍ර ආශ්‍රිතව ආහාර නිෂ්පාදනය කිරීම සඳහා කර්මාන්ත ශාලාවක් හම්බන්තොට ස්ථාපිත කිරීමට චීන ආයෝජකයින් පිරිසක් එකඟතාවය පළ කර තිබෙනවා.

මෙම නියෝජිත පිරිස සමඟ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පසුගිය සතියේ සාකච්ඡා කළ අතර එම සාකච්ඡාවේදී ඔවුන් මුරුංගා පත්‍ර  ආශ්‍රිතව නිපදවිය හැකි නිෂ්පාදන රැසක් අන්තර්ජාතික වෙළඳපොළට හඳුන්වා දීමට තීරණය කර තිබෙනවා.

විශේෂයෙන්ම මුරුංගා පත්‍ර වියලා ගැනීම තුළින් සකස්කරගත හැකි පානයක්, මෙන්ම සුප් සහ සෝස් වශයෙන් ද නිපදවිය හැකි බවයි පෙන්වා දෙන්නේ. ඊට අමතරව මුරුංගා කරල් සහ මුරුංගා ඇටවලින් තෙල් ලබාගැනීමටත් අපේක්ෂා කරනවා. 
මුරුංගා ඇටවල ඇති මේදය කොලෙස්ටරෝල් පාලනයට ඉතාමත්ම හිතකර වන බව එම ආයෝජකයින් පිරිස අමාත්‍යවරයාට පැහැදිලි කර තිබෙනවා.

මෙම කර්මාන්තශාලාව පිහිටුවීමෙන් අනතුරුව හම්බන්තොට ප්‍රදේශයේ ජනතාවට මුරුංගා වගාවක් ලෙස සිදුකර අමතර ආදායමක් උපයා ගැනීමට හැකි අවස්ථාවන් ද උදාවන බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පෙන්වා දෙන්නේ.