Tuesday, May 21, 2024

General line - 0115112241

අතුරුදන්වීම් නිසා වින්දිත තැනැත්තන් සම්බන්ධයෙන් නිර්දේශ ඇතුළත් අතුරු වාර්තාවකට අද අත්සන් තබයි

ලහිරු කපුගේ




අතුරුදන්වීම් සහ අතුරුදන් කරවීම්වලින් වින්දිත තැනැත්තන් සම්බන්ධයෙන් නිර්දේශ ඇතුළත්ව අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය විසින් සකස් කෙරුණු අතුරු වාර්තාවකට අද (30) අත්සන් තැබෙනවා. ඒ, අදට යෙදී ඇති අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන්. 

මෙම දිනය සමරමින් ශ‍්‍රී ලංකාවේ ද විවිධ වැඩසටහන් සංවිධාන කර තිබෙනවා. අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය විසින් සංවිධාන කෙරෙන සැමරුම කොළඹ ජේ. ආර්. ජයවර්ධන කේන්ද්‍රයේදී අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. එම කාර්යාලයේ සභාපති, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මේ බව සඳහන් කළා.

අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පිහිටුවා මේ වනවිට මාස 06කට ආසන්න කාලයක් ගත වී තිබෙනවා. ගත වූ කාලය තුළ එම කාර්යාලයෙන් ඉටු කෙරුණු කාර්ය පිළිබඳව ද නෙත් නිවුස් මෙහිදී ප‍්‍රශ්න කළා.

එහිදී "මෙම කාර්යාලය ස්ථාවර කාර්යාලයක්. විශේෂයෙන්ම අපි පසුගිය කාලයේ කළේ වින්දිත පවුල්වලින් ඔවුන්ගේ අදහස් ලබා ගැනීම. ඒ වගේම මෙම කාර්යාලයෙන් සිදුවෙන කාර්යයන් පිළිබඳව ඔවුන් දැනුවත් කිරීම සහා අපගේ කාර්යයන් නිසි පරිදි කරගෙන යෑම වෙනුවෙන් සේවකයන් බඳවා ගැනීම වගේ දේවල් තමයි මූලික වශයෙන් කළේ. ඇතැම් සිද්ධි සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන ආරම්භ කර තියෙනවා." යනුවෙන් සඳහන් කළා. 

කෙසේ වෙතත් අතුරුදන් වූ සිය ඥාතීන් සම්බන්ධයෙන් රජය තවමත් ප‍්‍රමාණවත් උනන්දුවක් නොදක්වන බවට උතුරේ සහ නැගෙනහිර ඇතැම් වැසියන් තවදුරටත් චෝදනා කරනවා. මෙම කරුණ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මැදිහත්මක් ද අවශ්‍ය බවයි උද්ඝෝෂණවල යෙදෙමින් අවස්ථා ගණනාවකදීම ඔවුන් කියා සිටියේ.