මහපොළ භාරකාර අරමුදල කළමණාකරණය කිරීමට ආරම්භ කෙරුණු සමාගම් දෙකක් හේතුවෙන් ගතවූ කාලසීමාව තුළ රුපියල් මිලියන 2,500 ක පාඩුවක් සිදුව ඇති බව උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසනවා. කොළඹ අද (31) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව කියාසිටියා.
2003 වසරේ මහපොළට ලැබුණු මුදල් ආයෝජනය කරලා සමාගම් දෙකක් ආරම්භ කරලා තියෙනවා. නෙට්වෙල්ත් කෝපරේටඩ් ලිමිටඩ් සහ නෙට්වෙල්ත් සිකියුරිටිස් ලිමිටඩ් කියන සමාගම් දෙකක්. ඒ සමාගම් දෙක පවතවාගෙන යාම නිසා 2003 වසරේ ඉදලා මේ වෙනකොට අපිට විශාල අලාභයක් සිදුවෙලා තියනවා. මුලික ප්රශ්නය තමයි මේ සමාගම් දෙකක් ඇති කරන්න අපිට තිබ්බ අවශ්‍යතාවය කුමක්ද කියන එක? අපිට තාම ඒක තේරුම් ගන්න බැහැ. අනෙක් කාරණාව තමයි ඇති කරපු සමාගම් දේශපාලනීකරණයට ලක්වීම. මේ සමාගම් හදලා මුදල් ආයෝජනය කිරීම නිසා 2017 වසරේ දෙසැම්බර් 31 වන විට අපිට මිලියන 2500ක් පාඩුවක් තිබෙනවා. අපි තීරණයක් ගත්තා මේ සමාගම් දෙකෙන් ඉවත් වෙලා ඒ මුදල් රජයේ බැංකු වල සෘජුව ආයෝජනය කරන්න. ඒ සඳහා ඇමති මණ්ඩලයේ දී තීරණයක් ගත්තා යැයි මෙහිදී ඇමතිවරයා සදහන් කර සිටියා.
උද්ඝෝෂණ කොතරම් පැවැත්වුවද නවක වදයට එරෙහි තම ප්‍රතිපත්තිය වෙනස් නොකරන බවද අමාත්‍යවරයා මෙම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළා.
විවාදයකට පැමිණෙන ලෙස අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු ලහිරු වීරසේකර සිදුකළ ප්රකාශයකටද අමාත්‍යවරයා මෙහිදී ප්‍රතිචාර දැක්වුවා.