කිලිනොච්චිය, පණ්ණකඩ්ඩි ප්රදේශයේදී කාන්තාවක් ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් සැකපිට ඊයේ (31) අත්අඩංගුවට ගත් පුද්ගලයා සියල්ල පාපොච්චාරණය කළ බව කිලිනොච්චි පොලිසිය පවසයි.
කිලිනොච්චිය පොලිසිය පැවසුවේ අදාළ කාන්තාව හා අත්අඩංගුවට ගත් සැකකරු ඇඟළුම් කම්හලක ආරක්ෂක රාජකාරි කොට ඇති අතර එම සැකකරු එහි පරීක්ෂක නිළධාරිවරයා ලෙස කටයුතු කොට ඇති බවයි.
රාජකාරිය අතරතුරදි දෙදෙනා අතර අනියම් සම්බන්ධතාවයක් හටගෙන ඇති අතර එහිදි මියගිය කාන්තාවට අදාළ සැකකරුගෙන් දරුවෙකු පිළිසිදගෙන ඇති අතර මේ පිළිබඳව මියගිය කාන්තාව සැකකරු වෙත පවසා ඇත.
" නිත්යකලාට මගෙන් දරුවෙක් ලැබෙන්න ඉන්නවා. ඒ හින්දා මාව කසාද බදින්න කියලා නිත්යකලා කිව්වා. ඒත් අපිට කසාද බදින්න බැරි හින්දා අපි මැරෙන්න තීරණය කළා. එහෙම ඉන්නකොට 28 වැනිදා හවස නිත්යකලා වැඩ ඇරිලා මෝටර් සයිකලෙන් ආවා. මම එතකොට නිත්යකලා ඉන්න තැනට ගිහිල්ලා අපි මෝටර් සයිකලයෙන් කිලිනොචිචිය අම්බාල්කුලම් වැව පැත්තේ අතුරු පාරවල් දිගේ ගිහිල්ලා කැළැව මැද කුඹුරක් අයිනට ගියා මැරෙන්න.
එහෙම ගියාට පස්සේ මට ළමයි ගැන හිතිලා මම නිත්යකලා මැරුවා. නිත්යකලා ආරක්ෂක රාජකාරි හැදුනුම්පත දාගෙන හිටපු පටිය අරගෙන බෙල්ල හිරකරලා ඇයව මැරුවා. ඊට පස්සේ නිත්යකලා ඇදගෙන හිටපු ඇදුම්වලින් මිනිය අදුරගනියි කියලා නිත්යකලා ඇඳගෙන හිටපු නිළ ඇදුම ගලවලා ඇයගේ අත් බෑගය, ඇදුම් හා ජංගම දුරකතනයයි යතුරුපැදියයි අරගෙන මිනිය කුඹුර මැද තියලා මම එන්න පිටත්වුණා.
එහෙම එනකොට අත්බෑගය අම්බාල්කුලම වැවට දැම්මා. ජංගම දුරකථනය වෙනත් තැනකට විසි කරලා, ඇදුම් ගිනි තියලා මම නිත්යකලාගේ යතුරුපැදිය අරගෙන ගෙදර ආවා.ගෙදර ඇවිල්ල මම වස බීලා මැරෙන්න තීරණය කළා.ඒත් මගේ දරු දෙන්න මතක් වුණ හින්දා ඒ තීරණය අතහැරියා. ඒත් මගේ නෝනා ඇහුවා මෝටර් සයිකලය කාගෙද කියලා.මම කිව්වා යාළුවෙක්ගේ කියලා. එහෙම ඉන්නකොට තමයි මම අහුවුණේ" යනුවෙන් සැකකරු පොලිසිය වෙත පවසා ඇත.
මාන්කුලම, මුරුකණ්ඩි, වසන්තනගර් ප්රදේශයේ පදිංචි 32 හැවිරිදි එක්දරු මවක් වන කරුපයියා නිත්යකලා නමැති කාන්තාවක් ඝාතනය කොට කිලිනොච්චිය පණ්ණකඩ්ඩි ප්රදේශයේ කුඹුරු යායක මළ සිරුර දමා තිබියදී පසුගිය 29 වැනිදා සොයා ගත් අතර ඝාතනය සම්බන්ධයෙන් කිලිනොච්චිය,විනායගපුරම් ප්රදේශයේ පදිංචි 41 හැවිරිදි දෙදරු පියෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
කුඹුරු යායක තිබි සොයාගත් මළ සිරුර සම්බන්ධයෙන් යාපනය රෝහලේදී සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අදාළ මරණය ගෙල කිසියම් වයරයකින් හෝ ලණුවකින් සිරකර සිදුකළ ඝාතනයක් බවට අනාවරණය වු බව කිලිනොච්චි පොලිසිය සදහන් කර සිටියා.
මරණ පරීක්ෂණ වාර්තාව අනුව මියගිය කාන්තාව මාස පහක ගර්භනි කාන්තාවක් වන බවටද අනාවරණය වුවා.
මියගිය කාන්තාවගේ මළ සිරුර ඊයේ (31) ප්රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් කිලිනොච්චිය මුරුකන්ඩි ප්රදේශයේදී මිහිදන් කෙරුණා.