Saturday, April 27, 2024

General line - 0115112241

පිලිපීනය සහ හොංකොන් කළඹවමින් මාන්ගුට් චීනයට (VIDEO/PHOTOS)

දිනුක් හේවාවිතාරණ / තරංග රුක්ෂාන් ජයසේකර




මෙම වසරේ ඇතිවූ ප්‍රබලතම සුළි කුණාටුව වන " මාන්ගුට්" මේ වන විට දකුණු දිග චීනය දෙසට ගමන් කරමින් සිටින බව කාලගුණ විද්‍යාඥයින් සදහන් කරනවා. මේ හේතුවෙන් චීනයේ පළාත් කිහිපයකට එරට බලධාරීන් හදිසි ගංවතුර තත්ත්වයන්, නායයාම් සහ දැඩි සුළං ඇතිවීමේ අවධානම පිළිබඳව අනතුරු අඟවා ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

දකුණ දිග චීනයට පැමිණීමට පෙර මාන්ගුට් සුළි කුණාටුව නිසා පිලිපීනයට සහ හොංකොන් නගරයන් දැඩි අලාභ හානි සිදුවුවා.

 ඊයේ (15) දිනයේ අලුයම් කාලයේදී පැයට කිලෝමීටර් 180 ක පමණ වේගයෙන් පිලිපීනයට ඇතුල් වූ මාන්ගුට් සුළි කුණාටුව හේතුවෙන් මේ වන විට  පුද්ගලයින් 30 දෙනෙක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා. මාන්ගුට් සුළි කුණාටුව හේතුවෙන් පිලිපීනයේ ප්‍රදේශ රැසක නායයාම් සහ හදිසි  ගංවතුර තත්ත්වයන් වාර්තාවී තිබෙනවා. සුළි කුණාටුවෙන් හානියට පත් ඇතැම් ස්ථාන කරා මෙතෙක් සහන සේවකයින්ට ලඟා වීමට නොහැකිවී ඇති අතර මියගිය හා තුවාල ලබා ඇති පුද්ගලයින් සංඛ්‍යාව වෙනස් වීමේ හැකියාවක් ඇති බව පිලිපීන රජය සදහන් කරනවා.

පිලිපීනයෙන් නොනැවතුනු සුළි කුණාටුව අද (16) අලුයම වන විට හොංකොන් නගරයට පැයට කිලෝමීටර් 117 ක වේගයෙන් ඇතුල් වූ අතර එහිදී ප්‍රචන්ඩ සුළං සහ වර්ෂාව හේතුවෙන් සිදුවූ අනතුරු හේතුවෙන් පුද්ගලයින් 110 කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.

නගරයේ ගොඩනැගිලි රැසකට හානි සිදුව ඇති අතර ඉදිකරමින් තිබු ගොඩනැගිල්ලක ඉහළ සවිකර තිබු දොඹකරයක් කඩා වැටුණු බවට විදෙස් මාධ්‍ය සදහන් කර සිටියා. සුළි කුණාටුවත් සමග ඇතිවූ ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ඇතැම් ස්ථාන වල ජල මට්ටම අඩි 12ක් පමණ වන බවයි හොංකොන් බලධාරින සදහන් කරන්නේ.

කාර්යබහුල ගුවන්තොටුපලක් වන හොංකොන් ජාත්‍යන්තර ගුවන් තොටුපල මාන්ගුට් සුළි කුණාටුව හේතුවෙන් වසා දමා ඇති අතර අවලංගු කරන ලද ගුවන් ගමන් සංඛ්‍යාව 800 ක් බවයි බලධාරීන් සදහන් කරන්නේ. මේ හේතුවෙන් මගින් 100,000ක් පමණ පිඩාවට පත්ව ඇති බව සදහන්.

කාලගුණ බලධාරීන් සදහන් කරන්නේ මාන්ගුට් සුළි කුණාටුවේ ප්‍රබලත්වය ලබන අඟහරුවාදා වන විට ක්‍රමක් ක්‍රමයෙන් අඩුවෙනු ඇති බවයි.

මේ අතර ‘‘ෆ්ලෝරන්ස්’’ සුළි කුණාටුව හේතුවෙන් අමෙරිකාවේ නැගෙනහිර කොටසේ ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. ඇතැම් නගරවල ජල මට්ටම අඩි දෙකේ සීමාව ඉක්මවා ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. තවදුරටත් ප‍්‍රදේශයට වැසි ඇදහැලෙනු ඇති බවටද අනුමාන කෙරෙනවා. සිදු වූ අනතුරුවලින් ජීවිතක්ෂයට පත්ව ඇති සංඛ්‍යාව 12 දෙනෙක්.