Saturday, May 4, 2024

General line - 0115112241

බොරතෙල් නිෂ්පාදනය කරන ගල්ෆ් රාජ්‍යක් "ඔපෙක්" සංවිධානයෙන් ඉවත් වෙයි

දිනුක් හේවාවිතාරණ




ගෑස් නිපදවීම සඳහා අවධානය යොමු කිරීමට ගත් තීරණයට අනුව ලබන ජනවාරි මස 01 වෙනිදා සිට ඔපෙක් සංවිධානයේ සාමාජිකත්වයෙන් ඉවත් වීමට තීරණය කල බව කටාර් රාජ්‍ය නිවේදනය කර සිටියි.

මේ අනුව සිය තීරණය ඔපෙක් සංවිධානයට ඊයේ (03) නිල වශයෙන් දැනුම් දුන් බවයි කටාර් රාජ්‍යයේ බලශක්ති අමාත්‍ය සාද් ෂෙරීඩා අල්-කාබ් ප්‍රකාශ කර සිටියේ.

1961 වර්ෂයේ සිට කටාර් රාජ්‍ය ඔපෙක් සංවිධානයේ නිල සාමාජිකත්වය දරනු ලබනවා. සෞදි අරාබිය ඉකුත් මාස 18 ක කාලය තුලදී කටාර් රාජ්‍ය සමග පැවති සිය රාජතාන්ත්‍රික සබඳතා අත්හිටුවීම වැනි දේශපාලනමය කරුණු මෙම තීරණය ගැනීමට කටාර් රාජ්‍ය පෙලඹවීමට හේතු වන්නට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

කෙසේ වුවත් කටාර් රාජ්‍ය එම කරුණු ප්‍රතික්ෂේප කරන අතර තම තීරණය උපාය මාර්ගික වෙළද කටයුතු පුළුල් කර ගැනීම උදෙසා ගනු ලැබුවක් බව කියා සිටිනවා.

2024 වන විට වාර්ෂිකව ගෑස් ටොන් මිලියන 110ක් නිෂ්පාදනය කිරීමට කටාර් රාජ්‍යයේ සැලසුම වී ඇති බවයි එරට බලශක්ති අමාත්‍යවරයා සදහන් කරන්නේ.

දැනට ලොව බොර තෙල් නිෂ්පාදනය කරන රටවල් අතුරින් 17 වන ස්ථානයේ පසු වන්නේ කටාර් රාජ්‍යයි. ඔවුන්ගේ දෛනික බොර තෙල් නිෂ්පාදනය බැරල් ලක්ෂ 6ක් බවයි වාර්තා වන්නේ.