Saturday, May 4, 2024

General line - 0115112241

ළමා ලිංගික වීඩියෝ සහ ජයාරූප ඇතුලත් වෙබ් අඩවි ලක්ෂයක් අන්තර්ජාලයෙන් මකා දමයි

දිනුක් හේවාවිතාරණ




ළමා ලිංගිකත්වය හුවා දක්වන වෙබ් පිටු ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් පසුගිය වසරේදී අන්තර්ජාලයෙන් ඉවත් කිරීමට අන්තර්ජාල ළමා ආරක්ෂණ සංසදය පියවර ගෙන ඇති බව වාර්තා වනවා. 

බ්‍රිතාන්‍යයේ ක්‍රියාත්මක අන්තර්ජාල ළමා ආරක්ෂණ ඒකකය සඳහන් කරන්නේ ළමා ලිංගික ක්‍රියාකාරකම් සහිත වේබ් අඩවි සහ වෙබ් පිටු ලක්ෂයකට අධික සංඛ්‍යාවක් මේ අයුරින් අන්තර්ජාලයේ සංසරණය වෙමින් තිබියදී සොයා ගැනීමට තමන්ට හැකිවූ බවයි. මෙහිදී වැඩිදුරටත් එම ඒකකය සඳහන් කරන්නේ එම වෙබ් අඩවි වල ළමුන්ගේ නිරුවත් ජයාරූප සහ වීඩියෝ මිලියනයකට අධික සංඛ්‍යාවක් ඇතුලත් කර තිබු බවයි.

මෙම ළමා ලිංගික වීඩියෝ සහ ජයාරූප සඳහා වැඩි වශයෙන් යොදා ගෙන ඇත්තේ මධ්‍යම පාන්තික පවුල් වල වයස අවුරුදු 10-13ත් අතරේ වයස් කාණ්ඩයේ පසුවන ළමුන් බවත් ඔවුන්ට ආර්ථික සහ වෙනත් අවශ්‍යතාවයන් සපුරා දෙන බවට පවසමින් මෙම නීතිවිරෝධී ක්‍රියාවන් සඳහා යොදා ගෙන ඇති බව අන්තර් ජාල ළමා ආරක්ෂණ ඒකකය සිය වාර්තාව මගින් වැඩිදුරටත් කරුණු අනාවරණය කර තිබෙනවා.

ඇතැම් තරුණ ළමුන් තමා විසින් සිය නිවසේ සිටම නිරුවත් ජයාරූප සහ වීඩියෝ සිය පරිඝණකයේ හා ජංගම දුරකථනයේ කැමරාව උපයෝගී කර ගනිමින් ලබා ගෙන ගෙවීම් සිදුකරන වෙබ් අඩවි වලට ඇතුලත් කර ඇති බවටද තොරතුරු අනාවරණය කරගෙන ඇත. 

තම ළමුන් සම්බන්ධයෙන් දෙමව්පියන් වැඩි වශයෙන් අවධානය යොමු කිරීමට අවශ්‍ය කාලයක් උදාවී ඇති බවත් ඇතැම් ළමුන් තමන්ගේ අවශ්‍යතාවයන් සපුරා ගැනීමට නිවසින් මුදල් සහ සහයෝගය නොලැබීම හේතු කර ගෙන මෙවැනි ක්‍රියා මාර්ග හරහා මුදල් උපයා ගැනීමට යොමු වී ඇති බව අන්තර්ජාල ළමා ආරක්ෂණ ඒකකය අනතුරු අඟවා තිබේ.

" අන්තර්ජාලය කියන්නේ තමන්ගේ ආරක්ෂාව තමන් සලසා ගන්නේ නැත්නම් එය ඉතා භයානක තැනක් බවට පත්වන ස්ථානයක්. මෙම ළමා ලිංගික ක්‍රියාකාරකම් සඳහා යොමු වී සිටින ළමුන්ගෙන් 80% ක්ම ගැහැණු දරුවන් බවත් එය ඉතා භයානක තත්ත්වයක් බව" එම ඒකකය වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.