Tuesday, April 30, 2024

General line - 0115112241

මධුෂ් ඇතුළු පිරිස ඩුබායි අධිකරණයකට ඉදිරිපත් කරලා : මෙතෙක් කිසිවෙක් නීති උපදෙස් ඉල්ලා නැහැ - නීතිපති කියයි

දිනුක් හේවාවිතාරණ




ඩුබායි හිදී අත්අඩංගුවට ගනු ලැබූ මාකඳුරේ මධුෂ් ඇතුළු පාතාල සාමාජිකයින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය නීති උපදෙස් ලබා දෙන මෙන් මෙතෙක් කිසිදු ඉල්ලීමක් තමන් වෙත ලැබී නොමැති බව නීතිපති ජයන්ත ජයසුරිය මහතා nethnews.lk  වෙත අද (07) ප්‍රකාශ කර සිටියා. නීතිපතිවරයා සඳහන් කලේ ඒ සම්බන්ධයෙන් වගකිවයුතු අංශ විසින් ඉල්ලීමක් සිදුකළ වහාම අවශ්‍ය නීතිමය උපදෙස් ලබා දීමට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කරන බවයි.

මේ අතර ජාත්‍යන්තර පොලිසියේ රතු නිවේදනයක් සහිත අපරාධකරුවෙක් වන මාකඳුරේ මදූෂ් ඩුබායි රාජ්‍යට ඇතුල් වුයේ කෙසේද යන්න සම්බන්ධයෙන් එරට බළධාරින් මේ වන විට විමර්ශන ආරම්භ කර තිබෙනවා. එමෙන්ම ඔහු සතුව ව්‍යාජ නමකින් සාදන ලද විදෙස් ගමන් බලපත්‍රයක් තිබී ඇති බවද වාර්තා වනවා.

දැනට සිදුකරනු ලබන විමර්ශන වලට අනුව හෙළිවී ඇත්තේ මාකඳුරේ මධුෂ් එරට ව්‍යාපාරයක් පවත්වා ගෙන යමින් සිට ඇති බවයි. එමෙන්ම ඔහු විසින් මෙරට හරහා සිදුකරන ලද මත්ද්‍රව්‍ය ජාවාරම් වලින් උපයා ගනු ලැබූ මුදල් වලින් ඩුබායි හිදී නිවාස ඇතුළු දේපල මිලට ගෙන ඇති බව ද වාර්තා වනවා.

මාකඳුරේ මධුෂ් සමග අත්අඩංගුවට ගෙන ඩුබායි හි බන්ධනාගාරයක රඳවා සිටින අනෙකුත් පාතාල සමාජිකයින් ව්‍යාජ ගමන් බලපත්‍ර හරහා එරටට ඇතුල් වී ඇති බවත් මධුෂ් විසින් පවත්වා ගෙන යන සේවකයින් සැපයීමේ (මෑන් පවර්) ආයතනයේ සේවකයින් ලෙස හුවා දක්වමින් එම පාතාල සාමාජිකයින්ට එරටේ රැඳී සිටීමට අවශ්‍ය විසා ලබා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර අත්අඩංගුවට ගනු ලැබූ මාකඳුරේ මධුෂ් ඇතුළු ශ්‍රී ලාංකිකයින් 31 දෙනෙක් අද දිනයේදී ඩුබායි හි අධිකරණයට ඉදිරිපත් කර ඇති බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි ප්‍රකාශ කර සිටියා. ආණ්ඩුකාරවරයා මේ බව කියා සිටියේ මධුෂ් එරට රැදී ඇත්තේ ව්‍යාජ නමකින් බවයි. එමෙන්ම වත්මන් ජනාධිපතිවරයා විසින් මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා අවශ්‍ය පියවර ගැනීමත් සමග ගතවු මාස දෙක ඇතුලත ඉතා විශාල මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව ආණ්ඩුකාරවරයා මීගමුවේ පැවති උත්සවයකට එක්වෙමින් කියා සිටියා.