Wednesday, May 1, 2024

General line - 0115112241

තවත් දින කිහිපයකින් අඛණ්ඩ විදුලිය දෙන හැටි විදුලිබල අමාත්‍යාංශය පැහැදිළි කරයි

තරංග රුක්ෂාන්/ ලහිරු කපුගේ




අනිද්දා (10) වනවිට පවතින විදුලි කප්පාදුව අවසන් කරන බවයි මේ වනවිට විදුලිබල අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත්තේ. ජල විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට තවමත් ප්‍රමාණවත් වැසි ලැබී නොමැති බව නෙත් නිවුස් කළ සොයා බැලීමකදී අනාවරණ වුණා. එසේ තිබියදී තවත් දින 02කින් අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දෙන්නේ කෙසේදැයි නෙත් නිවුස් විදුලිබල අමාත්‍යාංශයේ සංවර්ධන අධ්‍යක්‍ෂ සුලක්ෂණ ජයවර්ධනගෙන් ප්‍රශ්ණ කළා.

එහිදී "ලංකා විදුලි බල මණ්ඩලයට අයත් කොළඹ වරාය තුළ පිහිටා තිබෙන විදුලි බලාගාරයේ පසුගිය දින කිහිපයේ විදුලි නිපදවීම සඳහා සම්බන්ධ වුණේ නෑ.  ඒ පැවැති දෝෂයක් නිසා. එය මේ වන විට නිවරැදි කරමින් පවතිනවා. ඒ නිසා ඉදිරි දින කිහිපයේදී එම බලාගාරයත් පද්ධතියට එක් කරගැනීමට හැකි වෙයි කියන බලාපොරොත්තුව තියෙනවා. කෙසේවෙතත් ජනතාව විදුලිය භාවිතා කිරීමේදී නිසි කළමණාකරණයකින් භාවිතා කිරීමෙන් මෙම ගැටලුවට විසඳුම් ලෙස විශාල සහයෝගයක් ලැබෙනවා. අනවශ්‍ය ලෙස සිදුවන විදුලිය නාස්තිවීම් හැකිතාක් අවම කර ගන්න. " යනුවෙන් සඳහන් කළා.

විදුලි අර්බුදය විසඳීම සඳහා කෙටි කාලීන හා දිගු කාලීන විසඳුම් මේ වනවිටත් ගෙන ඇතැයි විදුලිබල අමාත්‍යාංශයේ සංවර්ධන අධ්‍යක්‍ෂ සුලක්ෂණ ජයවර්ධන කියා සිටියා. පවතින කාලගුණික තත්ත්වයත් සමග ජල විදුලි උත්පාදනය අඩුවීම වර්තමාන විදුලි අර්බුදයට හේතුවක් වුණා. එමෙන්ම පවතින වියළි කාලගුණයත් සමග විදුලි පරිභෝජනය ද ඉකුත් සමයේ ඉහළ ගියා. 

තවත් හදිසි විදුලි මිලදී ගැනීමකට විදුලිබල අමාත්‍යාංශය දැනටමත් පෞද්ගලික සමාගම් දෙකක් තෝරා ගෙන ඇති අතර ඊට අදාළ ගිවිසුම් ක්‍රියාවලිය ද මේ වනවිටත් සිදුවෙමින් පවතිනවා. විදුලි අර්බුදය විසඳීම මෙහි මූලික අරමුණ බවයි විදුලිබල අමාත්‍යාංශය පැවසුවේ. විදුලි අර්බුදය හට ගැනීමෙන් පසු මිට පෙර ද මෙගා වොට් 71ක ධාරිතාවක් පෞද්ගලික ආයතන 02කින් ලබා ගැනීමට ද කටයුතු කෙරුණා. තවත් මෙගා වොට් 100ක් ජාතික පද්ධතියට එක් කර ගත හොත් අඛණ්ඩ විදුලි සැපයුම යළි ලබා දීමට හැකි වනු ඇති බවයි විදුලිබල අමාත්‍යාංශයේ සංවර්ධන අධ්‍යක්‍ෂ සුලක්ෂණ ජයවර්ධන නෙත් නිවුස් වෙත කියා සිටියේ. 

මේ අතර අද දිනයේ ද ජාඇල, ගනේමුල්ල, කොටුගොඩ, අඟුරුවැල්ල, දඹගොල්ල සහ අඹන්පෝරුව යන ප්‍රදේශවලට හිරු මුදුන් වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.