Saturday, April 27, 2024

General line - 0115112241

හැටන් ශ්‍රී කුරුස දේවස්ථානයට පැමිණ පලාගිය දෙදෙනා ඥාතීන් සමග පැමිණ භාරවෙයි

රංජිත් රාජපක්ෂ




වතුකරයේ ප්‍රධානතම සහ පැරණිතම දේවස්ථානය ලෙස සැලකෙන හැටන්  ශ්‍රී කුරුස දේවස්ථානයට පැමිණ පලා ගිය පුද්ගලයින්   දෙදෙනා සහ තවත් මුස්ලිම් තරුණයන් පිරිසක්  ඔහුන්ගේ ඥාතින් සමග අද (07) හැටන් පොලිසියට භාර වී තිබෙනවා.

ඉකුත් මස මුස්ලිම් ජාතික තරුණයන් දෙදෙනෙකු හැටන් ශ්‍රී කුරුස දේවස්ථානයට ගොස් එම දේවස්ථානය නැරඹීමට අවශ්‍යය බවත්, එම දේවස්ථානයේ පියතුමන් සිටිනවාද යන්න එම දේවස්ථානයේ දේව මෙහෙයට පැමිණි  කිතුනු බැතිමතෙකුගෙන් විමසීමක් සිදු කර තිබුණා.

එම අවස්තාවේ දේවස්ථානයේ දේව මෙහෙයට  සිනුව  නාද කිරීමත් සමග එම තරුණයන් දෙදෙනා පලා යාමෙන් පසු පාස්කු   ඉරුදින සිදු කළ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසු හැටන් ශ්‍රී කුරුස දේවස්ථානයේ සවි කර ඇති ආරක්ෂිත කැමරා පද්ධතිය පරික්ෂා කර එම තරුණයන් දෙදෙනා පිලිබඳව සැක සිතී දේවස්ථානයේ ප්‍රධාන පියතුමන් විසින් හැටන් පොලිසියට සිද්ධිය පිළිබඳව පැමිණිල්ලක් කර තිබුණා.

ආරක්ෂිත කැමරා දර්ශන හරහා හැටන් පොලිසිය මගින් අංශ කිහිපයක් ඔස්සේ පරික්ෂණ ආරම්භ කිරිමෙන් පසු එම දර්ශන මාධ්‍ය මගින් ප්‍රචාරය වීමෙන් ද පසු එම තරුණයන් පිරිස අද හැටන් පොලිසියට භාර වී තිබෙනවා.

කොළඹ ප්‍රදේශයේ පදිංචි මෙම තරුණයන් ඇතුළු පිරිසක් කොළඹ ප්‍රදේශයේ ප්‍රධාන මුස්ලිම් පල්ලියක් හරහා හැටන් ප්‍රදේශයේ ප්‍රධාන මුස්ලිම් පල්ලියක් වෙත එවා තිබෙනවා.

හැටන් මුස්ලිම් පල්ලියේ යාඥා කටයුතු නියැලි සිටීමෙන් අනතුරුව ප්‍රථම වතාවට හැටන් ප්‍රදේශයට පැමිණි එම තරුණයන් පිරිස හැටන් ප්‍රදේශයේ සුන්දර ස්ථාන කිහිපයක් නරඹා පැරණි ශ්‍රී කුරුස දේවස්ථානය නැරඹීමටද ගිය බවයි එම තරුණයන් විසින් හැටන් පොලිසියට කරන ලද ප්‍රකාශයේ සඳහන්ව ඇත්තේ.

මෙම තරුණයන් පිරිස කිසිදු ත්‍රස්තවාදී ක්‍රියාවකට සම්බන්ධ නොවන අය බවත්, මෙම තරුණයන් පිරිස යාඥා කටයුතු සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවල මුස්ලිම් පල්ලිවලට ගොස් යඥාවල යෙදෙන පිරිසක් බවයි හැටන් පොලිසිය පැවසුවේ.