Sunday, April 28, 2024

General line - 0115112241

සහරාන් හෂීම්ගේ තවත් සමීපතමයෙක් කාත්තන්කුඩිහිදී අත්අඩංගුවට

හේමන්ත කහවලගේ/ඩිල්ෂාන් මඩවල




පාස්කු ඉරිදා ප‍්‍රහාරය මෙහෙයවූ වූ බව කියන සහරාන් හෂීම් සමග ඉතා සමීපව කටයුකු කළ බවට සැකකෙරෙන තවත් පුද්ගලයෙකු කාත්තන්කුඩිහිදී අද අත්අඩංගුවට ගැනුණා.

මෙම පුද්ගලයා මොහොමඞ් ආලියාර් නැමැත්තෙක්.

ඔහු සහරාන් හෂීම් සමග මුදල් ගනුදෙනුද සිදුකර තිබෙන බවටයි තොරතුරු ලැබී ඇත්තේ.

මේ අතර කොච්චිකඬේ දේවස්ථානයේ පුපුරුවා හැරීම සිදුකරමින් මරාගෙන මැරුණු බෝම්බකරුගේ සහෝදරයෙකු ඇතුලූ තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන රදවාගෙන ප‍්‍රශ්න කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයට අද දැනුම් දුන්නා.

අධිකරණයේ නිරීක්ෂණය සදහා ඔවුන් ලබන 23 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙයසි මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එහිදී උපදෙස් දුන්නේ. 

කොච්චිකඬේ දේවස්ථානයේ පුපුරුවා හැරීම සිදුකරමින් මරාගෙන මැරුණු බෝම්බකරු එම දේවස්ථානයට පැමිණ ඇත්තේ කිංග්ස්බරි හෝටලයේ මරාගෙන මැරුනු බෝම්බකරුට අයත් වාහනයකින් බව හෙලිවී තිබෙනවා. ප‍්‍රහාරයට පසු දින කොච්චිකඬේ දේවස්ථානය අසලදී පුපුරුවා හැරුනේ ද එම වාහනයයි.

එහි කොටස් රජයේ රස පරීක්ෂක වෙත යොමුකර විශ්ලේෂණ වාර්තාවක් ලබා ගන්නා ලෙසද මහේස්ත‍්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දුන්නා. 

මේ අතර ශැන්ග‍්‍රිලා සහ සිනමන් ග‍්‍රැන්ඞ් යන හෝටල් වලදී මරාගෙන මැරුනු බෝම්බකරුවන් පදිංචී වී සිටි දෙමටගොඩ පිහිටි නිවස රජයේ රස පරීක්ෂක නිලධාරීන් විසින් අද නිරීක්ෂණය කළා. පරීක්ෂණ සදහා සහය ලබා ගැනීමට එම නිවසේ සේවය කළ කාන්තාවන් දෙදෙනෙකුද එහි කැදවා සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

බෝම්බකරුවන් දෙදෙනාගේ පියා වන මොහොමඞ් ඊබ‍්‍රහිම් නමැත්තා තවදුරටත් පොලිස් අත්අඩංගුවේ පසුවනවා.