Friday, September 20, 2024

General line - 0115112241

වසර 17 කට පසු කැන්ගරුවන් සිංහයන්ට දණ නමයි



වසර 17 කට පසු ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමක් පරාජය කරමින් ටෙස්ට් ජයග‍්‍රහණයක් වාර්තා කිරීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම අද (30) සමත් වුණා. ඒ, සංචාරක ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම සමග පල්ලෙකැලේ කී‍්‍රඩාංගණයේ පැවති පළමු ටෙස්ට් තරගය ලකුණු 106 කින් ජය ගනිමින්.

මෙම තරගයේ දෙවන ඉනිම කී‍්‍රඩා කළ ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමට ජයග‍්‍රහණය සදහා ලකුණු 267 ක ඉලක්කයක් ලැබී තිබුණා. එහෙත් ශී‍්‍ර ලංකා දග පන්දු බලඇණිය හමුවේ ඕස්ටේ‍්‍රලියානුවන්ට දෙවන ඉනිමේදී සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වුයේ ලකුණු 161 ක් පමණයි.

රංගන හේරත් ලකුණු 54 කට කඩුළු 5 ක් බිඳ හෙලූ අතර ඉනිම දෙකේදීම කඩුළු 9 ක් බිද හෙළනු ලැබුවා. සිය මංගල ටෙස්ට් තරගයට කී‍්‍රඩා කළ ලක්ෂාන් සඳකැන් ඕස්ටේ‍්‍රලියානු දෙවනි ඉනිමේදී ලකුණු 49 කට කඩුළු 3 ක් දවා ගත්තා. ඕස්ටේ‍්‍රලියානු පළමු ඉනිමේ කඩුළු 4 ක් දවා ගැනීමටද සඳකැන් සමත් වුණා.

ශී‍්‍ර ලංකාව පළමු ඉනිමේදී ලකුණු 117 ක් රැස් කළ අතර දෙවන ඉනිමේදී ලකුණු 353 ක් රැස් කළා. ඕස්ටේ‍්‍රලියානුවන් පළමු ඉනිමට රැස් කළ ලකුණු සංඛ්‍යාව 203 ක්.

තරගයේ වීරයා ලෙස සම්මාන හිමිකර ගත්තේ ශී‍්‍ර ලංකා දෙවන ඉනිමේදී විශිෂ්ඨ ඉනිමක් කී‍්‍රඩා කරමින් ලකුණු 176 ක් රැස් කළ කුසල් මෙන්ඩිස්. ශී‍්‍ර ලංකා කණ්ඩායමක් ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව වාර්තා කළ දෙවන ටෙස්ට් ජයග‍්‍රහණයද මෙය වනවා.

ඒ අනුව ඇන්ජලෝ මැතිව්ස් ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව ටෙස්ට් ජයග‍්‍රහණයක් වාර්තා කළ දෙවන ශී‍්‍ර ලංකා නායකයා ලෙස වාර්තා අතරට එක් වුණා.

ඕස්ටේ‍්‍රලියානු නායක ස්ටිව් ස්මිත් නායකත්වයට පත්වීමෙන් පසු ටෙස්ට් තරගයකින් පරාජය වූ පළමු අවස්ථාව මෙයවීමද විශේෂත්වයක්.

මෙතෙක් දෙරට අතර ටෙස්ට් තරග 27 ක් පවත්වා ඇති අතර එයින් 17 ක්ම ජයගෙන ඇත්තේ ඕස්ටේ‍්‍රලියාවයි. තරග 8 ක් ජය පැරදුමකින් තොරව නිමාවට පත්ව තිබෙනවා.