Friday, May 10, 2024

General line - 0115112241

"මෙතෙක් නියෝජනය කළේ මුස්ලිම් ජනතාව පමණක් ද?" - මුජිබර් පිළිතුරු දෙයි

දිල්ශාන් තුෂාර




මුස්ලිම් ජනතාව නියෝජනය කරන රජයේ සියලු අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් ධුරවලින් ඉල්ලා අස්වන බවට මුස්ලිම් කොංග‍්‍රසයේ නායක රාවුෆ් හකීම් සිදු කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් නෙත් නිවුස් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබර් රහුමාන්ගෙන් ද ප‍්‍රශ්න කළා.

චෝදනාවට ලක්ව සිටින මුස්ලිම් ආණ්ඩුකාරවරුන් දෙදෙනෙකු සහ එක් අමාත්‍යවරයෙකු පමණක් ඉවත් කරන ලෙස බලපෑම් එල්ල වූ අවස්ථාවක සියලු මුස්ලිම් අමාත්‍යවරුන් ධුරවලින් ඉවත් වීමෙන්, ඔවුන් මෙතෙක් නියෝජනය කළේ මුස්ලිම් ජනතාව පමණක් ද යන්න ප‍්‍රශ්නගත වී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකට ප‍්‍රතිචාර දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබර් රහුමාන් කියා සිටියේ "සියලු දෙනාම ඒ ඉවත් වුණේ මේ රටේ තියෙන සංහිඳියාව..සමගිය..තහවුරු කරගන්න ඕනේ කියන අදහසින්. තව ඇමතිවරු ඉන්නවා නම් ඉතින් ඒගොල්ලන්ටත් අයින් වෙන්න පුළුවන්. නමුත් දැන් දිගටම හැමතැනම ඉලක්ක කරේ මුස්ලිම් ජනතාවටනේ.  මුස්ලිම් ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්න දිගටම ආරක්ෂක අංශ.. ආණ්ඩුව අසමත් වෙනවා නම් අපි තවදුරටත් මේ අමාත්‍ය ධූරවල රැඳී ඉඳලා තේරුමක් නෑ." යනුවෙනි. 

මේ අතර බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පැවසුවේ මුස්ලිම් අමාත්‍යවරුන්ගේ මෙම ඉවත්වීමත් සමග අන්තවාදීන් සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ පහසු වනු ඇති බවයි. ඒ හේතුවෙන් මේ මොහොතේ වෙනත් කරුණු පසෙක තබා මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කළ යුතු බවද උන්වහන්සේ කියා සිටියා.