Sunday, May 5, 2024

General line - 0115112241

වසර 20ක ලෝක කුසලාන වාර්තාව සිංහයින් යලිත් වරක් රැක ගනියි (VIDEO/PHOTOS)

දිනුක් හේවාවිතාරණ / කසුන් කැලුම්




ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ පුරා දශක දෙකකට ආසන්න කාලයක් පුරාවට එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව තබා තිබෙන වාර්තාව නොබිදව පවත්වා ගෙන යාමට ශ්‍රි ලංකා කණ්ඩායම ඊයේ (21) සමත් විය. 

ඒ මෙවර ලෝක කුසලාන තරගාවලියේදි එංගලන්තය සමග පැවති තරගයෙන් ලකුණු 20ක ජයක් හිමිකර ගනිමින් ශ්‍රි ලංකා කණ්ඩායම ලැබු පෙරළිකාර ජයත් සමගින්ය.

කාසියේ වාසිය දිනු ශ්‍රි ලංකා කණ්ඩායම ඊයේ මුලින්ම පන්දුවට පහර දුන් අතර සිය නියමිත පන්දු ඕවර 50 අවසානයේදි කඩුලු 9ක් දැවි ලකුණු 232ක් රැස්කර ගැනිමට සමත් විය.

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් යුගලය වන දිමුත් කරුණාරත්න සහ කුසල් ජනිත් පෙරේරා ලකුණු 03ක් තුලදී ක්‍රීඩාගාරයට හරවා යැවීමට එංගලන්ත පන්දු යවන්නන් සමත්වුවත් ලෝක කුසලාන තරගාවලියේදී තමන්ට ලද පළමු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ලබාගත් අවිශ්ක ප්‍රනාන්දු පන්දු 39ක් තුලදී වේගවත් ලකුණු 49ක් රැස්කර ගැනීමට සමත් වුයේ හයේ පහරවල් දෙකක් සහ හතරේ පහරවල් 6ක් ද සමගින්ය.

අවිශ්ක ප්‍රනාන්දු දැවියාමත් සමග පිටියට පිවිසි ඇන්ජලෝ මැතිව්ස් සහ කුසල් මෙන්ඩිස් සිව්වැනි කඩුල්ල සඳහා ලකුණු 71ක සම්බන්ධතාවයක් ගොඩනැගු අතර කුසල් මෙන්ඩිස් ලකුණු 46ක් ලබා සිටියදී දැවී ගියේ තරගයේ 29 වෙනි පන්දු ඕවරයේදීය.

කලකට පසුව වගකීමෙන් පිත්ත හසුරුවමින් පිටියේ එක් කඩුල්ලක් ආරක්ෂා කර ගනිමින් ක්‍රීඩා කල ඇන්ජලෝ මැතිව්ස් (නොදැවී ලකුණු 85) සහ ධනංජය ද සිල්වා (29) ගේ සහය මතින් ශ්‍රී ලංකාව සිය පන්දුවාර 50 අවසානයේදී කඩුලු 09ක් දැවී ලකුණු 232ක් රැස්කර ගැනීමට සමත්විය.

ජයග්‍රාහි ලකුණු 233ක ඉලක්කයක් හඹා යාමට පැමිණි එංගලන්ත කණ්ඩායමේ වේගවත් ආරම්භයට තිත තැබූ ලසිත් මාලිංග තරගයේ පළමු ඕවරයේ දෙවන පන්දුවේදීම ජොනි බෙයාර්ස්ට්‍රෝව ලකුණු ලබා ගැනීමට පෙර යලි ක්‍රීඩාගාරයට හරවා යැවීමට සමත්විය.

මෙවර ලෝක කුසලාන තරගාවලියේදී වේගවත් පිතිහරඹයක යෙදුනු කණ්ඩායමක් ලෙස නම් දරා සිටින එංගලන්ත පිතිකරුවන්ට සුපුරුදු පහරවල් කරා යාමට ඉඩනොදුන් ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඔවුන්ට දැඩි පීඩනයක් ගෙන දෙමින් පන්දු යැවීම ඊයේ තරගයේදී කැපී පෙනෙන සිදුවීමක් විය.

කෙසේ වෙතත් තරගයේ අවශ්‍ය අවස්ථාවලදී කඩුලු දවා ගනිමින් ශ්‍රී ලංකා පන්දු යවන්නන් දැක්වූ දක්ෂතා හමුවේ එංගලන්ත පිතිකරුවන් පන්දු ඕවර 47ක් අවසානයේදී ලකුණු 212කට දැවී ගියේ 1999 වර්ෂයේ සිට ලෝක කුසලාන තරගාවලියකදී ශ්‍රී ලංකාවට එරෙහිව තරගයක් ජයගැනීමට ඔවුන් ගත් උත්සාහය සාර්ථක කර ගැනීමට අපොහොසත් වෙමිනි.

සිය ලෝක කුසලාන තරග ඉතිහාසයේ 50 වන කඩුල්ල ලෙස ජෝ රූට් දවා ගනිමින් ඊයේ ලසිත් මාලිංග ආක්‍රමණශීලී පන්දු යැවීමක නිරතවු අතර ඔහු පන්දු ඕවර 10 ක් තුලදී ලකුණු 43 කට කඩුලු 4ක් දවා ගන්නා ලදී. මාලිංගට අනගි සහයක් ලබාදුන් ධනංජය ද සිල්වා පන්දු ඕවර 8ක් යවමින් ලකුණු 32ක් පමණක් ලබාදී කඩුලු 03ක් දවා ගනු ලැබුවාය.

නුවන් ප්‍රදීප්, ඉසුරු උදාන සහ තිසර පෙරේරා ඊයේ තරගය පුරාවට මනා සංයමයකින් යුතුව පන්දු යැවු අතර පා දඟ පන්දු යවන්නෙක් ලෙස කණ්ඩායමට එක්ව සිටින ජීවන් මෙන්ඩිස් ඔහුට ලබාදී ඇති අවස්ථාවෙන් නිසි ප්‍රයෝජනයක් ගන්නා අයුරු දක්නට නොලැබීම කණ්ඩායමේ සංයුතියට ප්‍රබල ගැටළුවක්ව පවතියි.

තරගයේ විශේෂ අවස්ථා පහත ඇති ලින්ක් එක මත ක්ලික් කිරීමෙන් නැරඹීමට හැකියි:

https://www.cricketworldcup.com/video/1252793/cwc19-eng-v-sl-match-highlights-