Thursday, May 2, 2024

General line - 0115112241

සිංගප්පූරුවේ සිට ගෝඨා ප්‍රකාශයක් කරයි

හේමන්ත කහවලගේ/ලහිරු කපුගේ




තමන්ට එරෙහිව ඇති අධිකරණ ක‍්‍රියාමාර්ග හෝ වෙනත් කිසිඳු විරෝධතාවක් හමුවේ කිසිලෙසකින් වත් පසුනොබසින බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

ඔහු ප‍්‍රකාශ කර ඇත්තේ හැකි ඉක්මණින් තමන් යළි ශ‍්‍රී ලංකාවට පැමිණීමේ අපේක්ෂාවෙන් පසුවන බවයි. ජනතා අපේක්ෂා ඉටු කිරීමට තමන් අනිවාර්යයෙන්ම කටයුතු කරන බවද හිටපු ආරක්ෂක ලේකම්වරයා අවධාරණය කර තිබෙනවා. 

ඉකුත්දා සිදු කෙරුණු ශල්‍යකර්මයකින් පසු හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ තවදුරටත් රැඳී සිටින්නේ සිංගප්පූරුවේයි. ඔහුගේ සුවදුක් විමසීම සඳහා විපක්ෂ මන්ත‍්‍රී කණ්ඩායමක් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබුණා. එම කණ්ඩායමට කෙහෙලිය රඹුක්වැල්ල, ප‍්‍රසන්න රණතුංග, ප‍්‍රසන්න රණවීර, ප‍්‍රියංකර ජයරත්න, ඉන්දික අනුරුද්ධ සහ තේනුක විදානගමගේ යන මන්ත‍්‍රීවරුන් අයත්. හිටපු ආරක්ෂක ලේකම්වරයා ඔවුන්ට පවසා ඇත්තේ තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය මේ වනවිට යහපත් බවයි. සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යවරයා ද තමාගේ සුවදුක් විමසීමට පැමිණි බව මෙහිදී ප‍්‍රකාශ කර තිබෙනවා. විපක්ෂයේ මන්ත‍්‍රී කණ්ඩායම එහිදී ඉදිරි ජනාධිපතිවරණයට අදාළව මේ වනවිට සිදු කරන සැලසුම් සම්බන්ධයෙන් සම්පූර්ණ පැහැදිලි කිරීමක් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ. 

මේ සම්බන්ධයෙන් දැනට සිංගප්පූරුවේ රැඳී සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී තේනුක විදානගමගේගෙන් නෙත් නිවුස් විමසීමක් කළා. ඔහු කියා සිටියේ වෛද්‍ය උපදෙස් මත ගෝඨාභය රාජපක්ෂ මහතාට තවත් මසක පමණ කාලයක් රැඳී සිටින්නට සිදුවෙනු ඇති බවයි. ඉන් පසුව එතුමා ලංකාවට පැමිණි මැතිවරණය සඳහා සූදානම් වේ යැයි බලාපොරොත්තුව ඇති බවත් සඳහන් කළා.

කෙසේවෙතත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට විදෙස්ගතව ප‍්‍රතිකාර ලබාගැනීමට ඉකුත්දා ත‍්‍රිපුද්ගල මහාධිකරණය අවසර ලබාදුන්නේ මේ මස 24 වැනිදා දක්වා පමණයි. ආරක්ෂක ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ ප‍්‍රකාශ කළේ තම සේවාදායකයා සිංගප්පූරුවේ රෝහලේදී හෘද සැත්කමකට භාජනය කළ බවයි. ඒ අනුව ඞී. ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීමට අදාළ නඩුව ලබන 26 වැනිදා තෙක් කල් තැබීමටයි තීරණය කෙරුණේ.