Sunday, May 5, 2024

General line - 0115112241

පොලිස් නිලධාරියා සතුව තිබී පැහැර ගත් ගිනි අවිය සොයා ගනී

හේමන්ත කහවලගේ




මඩකලපුව, පූදූර් ප‍්‍රදේශයේ රථ වාහන රාජකාරීවල නිරතව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදී, පැහැර ගනු ලැබූ රාජකාරී ගිනි අවිය සොයාගෙන තිබෙනවා.

ඒ, පූදූර් ප‍්‍රදේශයේ මාර්ගයක තිබියදීයි.  ඊයේ (04) උදෑසන අදාළ නිලධාරීන් දෙදෙනා බලපත‍්‍ර නොමැති යතුරු පැදියක් සම්බන්ධයෙන් රථ වාහන නඩුවක් ලබා ගනිමින් සිටියදී එම පැහැර ගැනීම සිදුව තිබුණා.

අදාළ අවස්ථාවේ එම ස්ථානයට පැමිණි තවත් යතුරු පැදියක් පොලිස් නිලධාරීන් දෙදෙනාගේ යතුරු පැදිය හරස් කර නතර කිරීමට යාමේදී ඇද වැටී තිබෙනවා. ඒ සමගම ප‍්‍රදේශවාසීන් පිරිසක් අදාළ පොලිස් නිලධාරීන්ට පහරදීමක්ද සිදුකර තිබුණා.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 19 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ.