Sunday, May 5, 2024

General line - 0115112241

ලෝක කුසලානයේ අවසන් රංගනයට ශ්‍රී ලංකාව සුදානම්

කසුන් කැළුම්




ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ශ‍්‍රි ලංකාව සහභාගී වන අවසන් තරගය ලීඞ්ස්හිදී අද පැවැත්වෙනවා. ඒ, ප‍්‍රබල ඉන්දිය කණ්ඩායමට එරෙහිවයි. 

තරගය ආරම්භ වීමට නියමිතව ඇත්තේ ශී‍්‍ර ලංකා වේලාවෙන් පස්වරු 3.00ට පමණයි. ශී‍්‍ර ලංකා කණ්ඩායම දැනටමත් ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයෙන් ඉවත්ව සිටින අතර ඉන්දීය කණ්ඩායම දැනටමත් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටිනවා. ඒ අනුව අද තරගයේ ප‍්‍රතිපලය මෙවර තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා බලපෑමක් ඇති කරන්නේ නැහැ. 

ඉන්දියාව සමග තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ඇත්තේ ඔස්ටේ‍්‍රලියාව, එංගලන්තය සහ නවසීලන්තයි. අද තරගය ජය ගතහොත් ඉන්දීය කණ්ඩායමට ප‍්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය හිමිවනවා. ශී‍්‍ර ලංකා කණ්ඩායමට මෙවර ලෝක කුසලාන තරගාවලියේ හිමිව ඇත්තේ 06වන ස්ථානයයි. බංග්ලාදේශය සමග ඊයේ පැවැති තරගය ජය ගත් පකිස්තාන කණ්ඩායමට ප‍්‍රසාද ලකුණු සටහනේ 05වන ස්ථානය හිමිවුණා. 

මේ අතර ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියකදී ලකුණු 600 සීමාව පසු කළ 03වන කී‍්‍රඩකයා ලෙස වාර්තා අතරට එක්වීමට බංග්ලාදේශ කණ්ඩායමේ ශකීබ් අල් හසන් ඊයේ සමත් වුණා. ඒ පකිස්තානය සමග පැවැති තරගයේදී ලකුණු 64ක් රැුස් කරමින්. ඒ අනුව මෙවර ලෝක කුසලාන තරගාවලියේ ඉනිම 08කදී ශකීබ් අල් හසන් රැස් කළ මුළු ලකුණු සංඛ්‍යාව 606ක්. 

මේවනවිට මෙවර තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර පෙරමුණේ පසුවන්නේ ද ඔහුයි. ශතක 02ක් සහ අර්ධ ශතක 05ක් ශකීබ්ගේ පිත්තෙන් මෙම තරගාවලියේදී වාර්තා වුණා. මීට පෙර ලෝක කුසලාන තරගාවලියකදී ලකුණු 600 සීමාව පසුකර ඇත්තේ ඉන්දියාවේ සචින් තෙන්ඩුල්කාර් සහ ඔස්ටේ‍්‍රලියාවේ මැතිව් හේඞ්න් පමණයි.