Sunday, April 28, 2024

General line - 0115112241

ලෝක කුසලාන අවසන් මහ තරගයට ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක්

කසුන් කැලුම්




ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහ තරගයට එක්වන විනිසුරු මණ්ඩලය සහ තරග තීරකවරයා ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය විසින් අද (12) ප‍්‍රකාශයට පත්කළා. ඒ අනුව අවසන් මහ තරගයේ තරග තීරකවරයා ලෙස පත්කර ඇත්තේ රන්ජන් මඩුගල්ලයි. කුමාර් ධර්මසේන පිටියේ විනිසුරුවරයෙකු ලෙස පත්කර තිබෙනවා.

ඕස්ටේ‍්‍රලියාව සමග ඊයේ පැවැති දෙවන අවසන් පූර්ව තරගයේදී මතබේදාත්මක තීරණයක් ලබාදීම හේතුවෙන් කුමාර් ධර්මසේනට මෙවර අවසන් මහ තරගයේදී පිටියේ විනිසුරුවරයෙකු ලෙස එක් වීමට නොහැකි වනු ඇතැයි ඇතැම් විචාරකයන් මත පලකර තිබුණේ. ඒ, ලකුණු 85ක් ලබාසිටි ජේසන් රෝයි දැවීගිය කි‍්‍රඩකයෙකු ලෙස නම් කිරීම හේතුවෙන්. කෙසේ වෙතත් සමස්ත තරගාවලිය පුරාම කුමාර් ධර්මසේන නිවරදි තීරණ ලබාදීමට කටයුතු කිරීම හේතුවෙන් ඔහු මෙවර අවසන් මහ තරගයේ පිටියේ විනිසුරුවරයෙකු ලෙස පත් කිරීමටයි ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය පියවර ගත්තේ.

කුමාර් ධර්මසේන එක්දින ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ අවසන් මහ තරගයක් සදහා පිටියේ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කරන දෙවන අවස්ථාව මෙය වනවා. අවසන් වරට 2015 වසරේ පැවැති ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයේ පිටියේ විනිසුරුවරයෙකු ලෙස කුමාර් ධර්මසේන කටයුතු කළා.

මේ අතර ලෝක කුසලාන කි‍්‍රකට් ඉතිහාසයේ අවසන් මහ තරගයක රන්ජන් මඩුගල්ල තරග තීරකවරයෙකු ලෙස කටයුතු කරන සිව්වන අවස්ථාව මෙය වනවා. ඔහු මීට පෙර 1999, 2003 සහ 2015 යන වසරවල පැවැති ලෝක කුසලාන තරගාවලිහි අවසන් මහ තරගවල තරග තීරකවරයා ලෙස කටයුතු කළා. ඒ අනුව රන්ජන් මඩුගල්ල කි‍්‍රකට් වාර්තා පොත් අතරට එක්ව ඇත්තේ කි‍්‍රකට් ඉතිහාසයේ ලෝක කුසලාන අවසන් මහ තරග වැඩිම සංඛ්‍යාවක තරග තීරකවරයා වශයෙන් කටයුතු කළ තරග තීරකවරයා ලෙසයි.