Saturday, April 27, 2024

General line - 0115112241

මෙතෙක් එක්දින ලෝක කුසලානයක් දිනා නොමැති එංගලන්තය සහ නවසීලන්තය අද තරග බිමට

කසුන් කැළුම්




මාස එකහමාරකට ආසන්න කාලයක් පැවති මෙවර එක්දින ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහා තරගය, කි‍්‍රකට් කි‍්‍රඩාවේ මහ ගෙදර ලෙස සැලකෙන එංගලන්තයේ ඓතිහාසික ලෝඞ්ස් කි‍්‍රඩාංගණයේදී අද (14) පැවැත්වෙනවා.

ඒ මෙතෙක් එක්දින ලෝක කුසලානයක් දිනා නොමැති සත්කාරක එංගලන්තය සහ නවසීලන්තය අතරයි.

එංගලන්ත කණ්ඩායම මීට පෙර 1979, 1987, 1992 යන වසරවල පැවති ලෝක කුසලාන තරගාවලිහිදී අවසන් මහ තරගවලට සුදුසුකම් ලැබුවත්, ඔවුන්ට ඉන් කිසිදු අවස්ථාවක ලෝක කුසලානය දිනා ගැනීමට අවස්ථාව හිමිවූයේ නැහැ. එංගලන්ත කණ්ඩායම එක්දින ලෝක කුසාලන තරගාවලියක අවසන් මහා තරගයකට එක් වන්නේ වසර 27කට පසුවයි. 

නවසීලන්ත කණ්ඩායම එක්දින ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියක අවසන් මහ තරගයට එක්වන දෙවන අවස්ථාව මෙය වනවා. ඔවුන් අවසන්වරට 2015 වසරේ පැවති ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේදී අනුශූරයින් බවට පත්වුණා. වසර 27කට පසු ඕස්ටේ‍්‍රලියාව හෝ ශී‍්‍ර ලංකාව නොමැති ලෝක කුසලාන අවසන් මහ තරගයක් දැක බලා ගැනීමට කි‍්‍රඩා ලෝලීන්ට අද අවස්ථාව හිමිව තිබෙනවා.

මේ අතර, අද පැවැත්වෙන අවසන් මහ තරගයේ ප‍්‍රවේශ පත‍්‍ර ඇතැමුන් වැඩිමිලට අලෙවි කරන බවටද වාර්තා වනවා. එක් ප‍්‍රවේශ පත‍්‍රයක් ස්ටර්ලින් පවුම් දහසය දහස දක්වා මුදලකට අලෙවි වන බවටයි වාර්තා වන්නේ. අවසන් මහා තරගයේ ප‍්‍රවේශ පත‍්‍රයක් මිලදී ගත් මුදල මෙන් පනස් ගුණයකට වැඩි මිලකට ඇතැමුන් අලෙවි කරන බවද වාර්තාවනවා. ඉන්දීය පිල මෙවර ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබනු ඇතැයි විශ්වාසයෙන් පසු වූ ඉන්දීය කි‍්‍රඩාලෝලීන් රැසක් එම ප‍්‍රවේශපත‍්‍ර නැවත වැඩි මිලට අලෙවි කරන බවටයි වාර්තා වන්නේ.

මේ අතර ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිියේ අවසන් මහ තරගයේ ප‍්‍රවේශපත‍්‍ර වෙන්කරවා ගෙන ඇත්නම් ඒවා යළි අලෙවි කරන ලෙස නවසීලන්ත තුන් ඉරියව් ක‍්‍රීඩක ජේම්ස් නීෂම්, ඉන්දීය කි‍්‍රඩා ලෝලීන්ගෙන් ඉල්ලීමක් ද කර තිබුණා. ඒ සිය ට්විටර් ගිණුම හරහායි. ඉන්දීය කි‍්‍රඩා ලෝලීන්ට මෙම තරගය නැරඹීමට අවශ්‍ය නැති නම් ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සලයේ නිල වෙබ් අඩවිය හරහා එම ප‍්‍රවේශ පත‍්‍ර යලි ලබා දෙන ලෙසයි ඔහු ඉල්ලා ඇත්තේ. නවසීලන්තය සහ එංගලන්තය අතර පැවැත්වෙන ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහා තරගය මෙරට වේලාවෙන් අද පස්වරු 03.00ට ආරම්භ වීමට නියමිතයි.