Sunday, May 5, 2024

General line - 0115112241

ජේලර්වරයාගේ ඝාතනයත් සමග යට ගිය සිද්ධි මතුවෙයි

ජයකාන්ත ලියනගෙ




කොළඹ, වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලේ ප්‍රධාන ජේලර්වරයා ඊයේ (03)  ඝාතනයට ලක්ව ඇත්තේ අද (04) දිනයේදී 5 වසර ශිෂත්ව විභාගයට පෙනී සිටීමට නියමිත සිය දියණියගේ අත්‍යාවශ්‍ය කරුණු කීපයක් ඉටු කිරීම සඳහා නිවාඩු දමා පැමිණෙමින් සිටියදී බව පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබෙනවා.

මෙසේ ඝාතනය කර ඇත්තේ අම්බලන්ගොඩ, කුලීගොඩ, සැන්ටින් ද සොයිසා මාවතේ පදිංචි තිලිණ රුවන් තිහාර ජයරත්න (44) නැමැති නිලධාරියෙකුයි.  

ඊයේ  (03) සවස 5.30 ට පමණ අම්බලන්ගොඩ, කුලීගොඩ හන්දියේදී මදක් මාදම්පාගම දෙසට වෙන්නට මෙම වෙඩි තැබීම සිදුකර තිබෙන බව පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබෙනවා. වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ එම්. ටී. රුවන් තිහාර ජයරත්නව  ප්‍රදේශවාසීන් විසින් බළපිටිය රෝහලට ඇතුළත් කර තිබෙන අතර ඒ වන විටත් ඔහු මියගොස් සිටි බවයි බළපිටිය මූලික රෝහලේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ.

මහේස්ත්‍රාත් පරීක්ෂණය බළපිටිය වැඩ බලන මහේස්ත්‍රාත් ඉසෙඩ් පී. එම්. ලියාකාත් විසින් ඊයේ (03) රාත්‍රියේ පවත්වන ලද අතර මෘත දේහය ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලට ගෙන ගොස් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලෙසද ඔහු විසින් නියෝග කර තිබුණා. ඒ අනුව අද (04) පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබුණා.

සිද්ධිය සැලවීමත් සමග අම්බලන්ගොඩ මූලස්ථාන පොලිස් පරීක්ෂක ඉන්දික ගමගේ, ඇල්පිටිය විශේෂ අපරාධ ස්ථාන විමර්ශණ ඒකකයේ පොලිස් පරීක්ෂක චන්දිමාල් ද සිල්වා යන නිලධාරීන් ඇතුළු පිරිසක් සිද්ධිය වූ ස්ථානයට ගොස් පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබුණා. 
ජේලර්වරයා කොළඔ, බන්ධනාගාර පුහුණු පාසලේ සිට කෙටි නිවාඩුවක් දමා නිවස වෙත ඒමට පිටත්ව තිබෙන බවත් දුම්රියෙන් බැස දුම්රිය නැවතුම් පොළ අසල ආරක්ෂිත ස්ථානයක තබා තිබූ සිය යතුරුපැදිය රැගෙන නිවසට යමින් සිටියදී මෙම වෙඩි තැබීම සිදුකර තිබෙන බවත් අම්බලන්ගොඩ පොලීසිය පැවසුවා. ඝාතනයට ලක් වූ අය තිදරු පියෙකු බවත් ඔහු ඊයේ (03) කෙටි නිවාඩු දමා පැමිණ ඇත්තේ අද (04) දිනයේදී 5 වසර ශිෂත්ව විභාගයට පෙනී සිටීමට නියමිත සිය දියණියගේ අත්‍යාවශ්‍ය කරුණු කීපයක් ඉටු කිරීමට බවත් පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබෙනවා.

ජේලර්වරයා සිය යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී ඊට පිටුපසින් තවත් යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබෙනවා. ඝාතකයන් පැමිණි යතුරුපැදිය, ජේලර්වරයාගේ යතුරු පැදියට ඉස්සර කරමින් වෙඩි තැබීම සිදුකර තිබෙන බවත් වෙඩි පහරවල් 03 ක් සිරුරට එල්ල කර තිබෙන බවත් පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබුණා. ජේලර්වරයාගේ බෙල්ලට යටින් දකුණු පැත්තට වන්නට එක් වෙඩි පහරක් එහිදී එල්ල වී තිබුණා.

වෙඩි තැබීම සිදු වූ ස්ථානයේ තිබී ටී-56 වර්ගයේ උණ්ඩ කොපු 03 ක් පොලීසිය විසින් සොයාගෙන තිබෙන අතර ඒ නිසා මෙම වෙඩි තැබීම ටී-56 ගිනි අවියකින් සිදුකරන්නට ඇතැයිද පොලීසිය විශ්වාස කරනවා.

වෙඩි තැබීම සිදුකිරීමෙන් පසු ඝාතකයින් මීටියාගොඩ දෙසට පලාගිය බවත් යතුරු පැදියේ පිටුපස අසුනේ ගමන් ගත් අය විසින් වෙඩිතැබීම සිදුකල බවත් සිද්ධිය ඇසින් දුටුවන් පොලීසියට ප්‍රකාශ කර තිබෙනවා. ඝාතකයින් යමහා වර්ගයේ යතුරු පැදියකින් පැමිණ තිබෙන බවටද තොරතුරු  ඇතැයි අම්බලන්ගොඩ පොලීසිය ප්‍රකාශ කරනවා.

ඝාතනයට ලක් වූ ජේලර්වරයා දකුණේ පාතාල නායක‍යෙකු වන පොඩි ලැසී නැමැත්තාගේ කුඩු තිප්පොලක් වැටලු අවස්ථාවේ දී ඒ ආසන්නයේ ප්‍රධාන මාර්ගය අසල සිටියේ යැයි 2018.10.19 දින මීටියාගොඩ පොලීසියේ අත්අඩංගුවටද පත්වුණා. ඒ වන විට ඔහු ගාල්ල බන්ධනාගාරයේ නියෝජ්‍ය ජේලර්වරයා වශයෙන් සේවය කරමින් සිටි අතර අදාල දිනයේ ඔහු එහි පැමිණියේ කුමක් සඳහාද යන්න මිටියාගොඩ පොලිසියේ සැකයට භාජනය වී තිබුණා.  

තමා, මිටියාගොඩ බද්දේගම ප්‍රධාන මාර්ගයට මුහුණලා ඇති සත්ත්ව ගොවිපලක් ආසන්නයට යතුරුපැදියෙන් ගොස් කුකුලු මස් තොග වශයෙන් මිලදී ගැනීමට විමසීමක් සිදුකරන අවස්ථාවේදී යතුරුපැදියකින් පැමිණි පොලිස් නිලධාරින් දෙදෙනෙකු ඊට යාබද ස්ථානයක සිටි බව කියන කුඩු ජාවාරම්කරුවකු අත්අඩංගුවට ගත් බවත් තමන් මෙම ස්ථානයට පැමිණියේ කුමක් සඳහා ද යන්න විමසා තමන්ද අත්අඩංගුවට ගත් බවත් ඊට අදාල පරීක්ෂණවලදී ජේලර්වරයා ප්‍රකාශ කර තිබුණා. පසුව ඔහුට විරුද්ධව නඩු පවරා තිබූ අතර නඩුවෙන් ජේලර්වරයා නිදොස් කොට නිදහස් කෙරුණා. 

 2018.10.19 දින අත්අඩංගුවට පත් වීමෙන් පසුව ඔහු වැඩ තහනමට ලක්ව තිබූ අතර නිදහස් වීමෙන් පසු නැවත රැකියාව ලැබී තිබුණේ වැලිකඩ බන්ධනාගාර පාසලේ ජේලර්වරයා ලෙස මීට මාස 04 කට පෙරදීයි.

පසුව ඝාතනයට ලක් වූ ජේලර්වරයා විසින් තමන්ට සිදු වූ අපහසුතාවය සම්බන්ධයෙන් මානව හිමිකම් නඩුවක්ද පවරා ඇති අතර මේ වන විටත් එම නඩුව විභාග වෙමින් තිබෙනවා. 

ඝාතනයට ලක් වූ සිය ස්වාමිපුරුෂයාට මීටියාගොඩ හා අම්බලන්ගොඩ පොලිස් ස්ථාන සමග ගැටළු තිබූ බවත් ඒ නිසාම එම පොලිස් ස්ථාන වලින් සාධාරණත්වයක් ඉටු නොවන බවත් මියගිය නිලධාරියාගේ බිරිඳ මෙන්ම සහෝදරයාද ප්‍රකාශ කරනවා. ඔවුන්ගේ ඉල්ලීම වී ඇත්තේ උසස් පොලිස් නිලධාරියෙකු යටතේ වෙනත් පොලිස් ස්ථානයක් හෝ විශේෂ පොලිස් කණ්ඩායමක් හරහා ස්වාධීන පරීක්ෂණයක් සිදුකර ලෙසයි.

ගාල්ල බන්ධනාගාරයේ නිලධාරීන් හරහා සිදුවන දූෂණ, වංචා මෙන්ම අක්‍රමිකතා හා අපරාධවලට අනුබල දීම් රැසක් ඝාතනයට ලක් වූ සිය සහෝදරයා විසින් ඔහුට එරෙහි නඩුවේදී හෙළිකර තිබෙන බවත් ඒවා හෙළි කිරීම හා මෙම ඝාතනය අතර සම්බන්ධයක් තිබේද යන්න පිළිබඳවද පරීක්ෂණ පවත්වන ලෙසත් ඝාතනයට ලක් වූ අයගේ සහෝදරයා විසින් ඇල්පිටිය පොලිස් අධිකාරිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. 

ඝාතනයට ලක් වූ ජේලර්වරයා තමන්ට ජීවිත තර්ජන තිබෙන බවට සඳහන් කරමින් අම්බලන්ගොඩ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වෙත සහ පොලිස් මූලස්ථානයට පැමිණිලි කර තිබෙන බවද ඔහුගේ සහෝදරයා ප්‍රකාශ කළා.

ඝාතනයට ලක් වූ ජේලර්වරයා දකුණේ පාතාල නායක නො. 06, තෙල්වත්ත, හික්කඩුව ලිපිනයේ පදිංචි අරුමාහන්දි ලසිත් මධුසංක ද සිල්වා (27) නොහොත් පොඩි ලැසී නැමැති අය සහ ඔහුගේ කල්ලිය සමග ළඟින් ඇසුරු කර තිබෙන බවද පොලීසිය පවසන බවයි nethnews.lk අප වාර්තාකරු සඳහන් කරන්නේ. 

2015 මාර්තු 23 දින වෙඩිතබා ඝාතනය කරන ලද හික්කඩුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මනෝජ් මෙන්ඩිස් (35) සහ 2016 දෙසැම්බර් 05 දින ඝාතනය කරන ලද අම්බලන්ගොඩ, ඉඩන්තොට, තිරිමාදුර ඉන්දික ද සොයිසා (33), අගම්පොඩි දේවිකා ද සොයිසා (27) සහ ඔවුන්ගේ දරුවා වන තිරිමාදුර රන්දික ද සොයිසා (04) යන පුද්ගල ඝාතනයන් සම්බන්ධයෙන් පොඩි ලැසී මේ වන විටත් රක්ෂිත බන්ධනාගාරගතව සිටිනවා.

කරන්දෙණියේ හිතහොද දොස්තර නමින් ප්‍රකට වෛද්‍ය ප්‍රියංක ප්‍රසාද් ජයසිංහට 2011 සැප්තැම්බර් 25 දින වෙඩිතබා ඝාතනය කිරීම සහ 2016 ජනවාරි 09 දින අම්බලන්ගොඩ සිට ගලගොඩ දක්වා දිවෙන මාර්ගයේ කැලෑබද ප්‍රදේශයක් වන ඉඩන්තොට යුනර්ලයිට් හෝටලය පිටුපස මාර්ගයේදී කිරින්ද ගමගේ සුසන්ත මෙන්ඩිස් (24) නොහොත් ‘’ගලගොඩ සුසා” නැමැති අයගේ ඝාතනය සම්බන්ධයෙන් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබුණේ දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින මාදම්පාගම, ඉඩන්තොට පදිංචි ජයලත් ද සිල්වා (29), ඔහුගේ සහෝදරයා වන මීටියාගොඩ, මහවත්තේ පදිංචි සනත් ද සිල්වා (33) නොහොත් ‘’රාජු’’ අම්බලන්ගොඩ, මාදම්පාගම පදිංචි මුරුක්කුවාදුර වසන්ත සොයිසා (24) නොහොත් ‘’වසා” සහ එම ලිපිනයේම පදිංචි අගම්පොඩි සජිත් සමන් ප්‍රියන්ත (20) නොහොත් ‘’සමන් කොල්ලා” නැමැති පිරිසයි. 

මොවුන් සමගද ඝාතනයට ලක් වූ ජේලර්වරයා සමීප සබඳතා පවත්වා තිබෙන බවට තොරතුරු ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් ප්‍රකාශ කර තිබෙනවා. හිතහොද දොස්තර ඝාතනයේ සැකකරුවන් හා පොඩිලැසී එකම කණ්ඩායකම සාමාජිකයින් බවද එම පොලිස් නිලධාරියා ප්‍රකාශ කරනවා.

පාතාල පොඩි ලැසීගේ කණ්ඩායම සහ තවත් කල්ලියක් අතර කලක පටන් පවතින ගැටුමක ප්‍රතිඵලයක් ලෙස ඊයේ (03) ඝාතනය සිදු කර තිබේද යන්න සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් කණ්ඩායම් කිහිපයක්ම යොදවා පරීක්ෂණ පවත්වන බව ඇල්පිටිය කොට්ඨාශයේ උසස් පොලිස් නිලධාරියෙක් ප්‍රකාශ කළා. 

කෙසේ වෙතත් මෙම ඝාතනයට එකම කණ්ඩායමේ මත භේදයක් හේතු වන්නට ඇතැයි යන මතය බැහැර නොකරන බවත් ඝාතනයට පාතාලයේ සම්බන්ධයක් ඇත යන්න පොලීසියේ දැඩි විශ්වාසය වී තිබෙන බවත් එම උසස් පොලිස් නිලධාරියා වැඩි දුරටත් ප්‍රකාශ කරනවා.