Sunday, April 28, 2024

General line - 0115112241

කටුනායකට පැමිණි ගුවන් යානා දෙකක් මත්තලට - මත්තලින් යළිත් කටුනායකට එවයි 

ටී.කේ.ජී කපිල




කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අවට ප්‍රදේශයේ අද (08) දින අලුයම කාලයේ පැවති දැඩි සුළං සහ අධික වැසි සහිත අයහපත් කාළගුණික තත්ත්වය නිසා  ගුවන් තොටුපළ වෙත ගොඩ බෑමට පැමිණි ගුවන් යානා දෙකක් මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත යොමු කිරීමට කටුනායක ගුවන් තොටුපළ බලධාරීන් පියවර ගෙන තිබුණා.

මෙයින් පළමු ගුවන් යානය වූයේ අද දින අලුයම 2.45 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට දෝහා  සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානයයි . මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ අවට පැවති අයහපත් කාළගුණික තත්වය නිසා මත්තල ගුවන් තොටුපළ වෙත අලුයම 3.15 ට ගොඩ බස්වා තිබුණා.

මෙහි ගුවන් මගීන් සමග ගුවන් යානා කාර්යය මණ්ඩලය 155 ක් සිටි අතර ඔවුන් ගුවන් යානයෙන් පිටතට නොගෙන යානයට අවශ්‍ය ඉන්ධන සහ ආහාර සපයා දී යලිත් අලුයම 4.53 ට මත්තල ගුවන් තොටුපළෙන් පිටත්ව, අලුයම 5.39 ට කටුනායක ගුවන් තොටුපළ වෙත  මෙම ගුවන් යානය ගොඩ බස්වා තිබුණා.

ඊට පසු අද දින අලුයම 2.50 ට සාජා සිට කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි එයා ඇරේබියා ගුවන් සේවයේ ජී.- 9503 දරන ගුවන් යානය මෙලෙස පැමිණ තිබුණා. එම ගුවන් යානය තුළ  ගුවන් මගීන් සහ කාර්යය මණ්ඩලය 168 ක් සිටි අතර එම ගුවන් යානය අලුයම 3.38 ට මත්තල ගුවන් තොටුපළ වෙත ගොඩ බස්සවා තිබුණා.

පසුව කටුනායක ගුවන් තොටුපළ අවට කාළගුණික තත්ත්වය යහපත් වූ පසු අලුයම 4.34 ට මත්තල ගුවන් තොටුපළෙන් පිටත් වූ එම ගුවන් යානය අලුයම 5.15 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට කටයුතු කර තිබුණා.

මෙම ගුවන් යානයේ ද ගුවන් මගීන් පිටතට නොගෙන ගුවන් යානයට අවශ්‍ය ඉන්ධන සහ ආහාර ලබා දීමට මත්තල ගුවන් තොටුපළ බලධාරීන් පියවර ගෙන තිබුණා.

 මෙම ගුවන් යානා දෙකම A-320 - 200 වර්ගයේ ගුවන් යානා දෙකක්.

මේ වනවිට කටුනායක ගුවන් තොටුපළ අවට කාළගුණික තත්ත්වය මදක් යහපත් වී ඇති අතර  ගුවන් යානා මෙහෙයුම් කටයුතු බධාවකින් තොරව සාමාන්‍ය පරිදි සිදු කරමින් පවතිනවා.